Skip to main content


කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සදහා අරගලය



1, මෙම මාතෘකාවේ දැක්වෙන මූලික පද දෙක -කම්කරු පන්තිය සහ විප්ලවවාදී පක්ෂය- මුලින්ම පැහැදිලි කරගත යුතු ය. ධනේශවර සමාජයක් තුල විවිධ පන්තීන් සහ උප පන්තීන් දැකිය හැක. විප්ලවවාදී පක්ෂය කම්කරු පන්තියේ පක්ෂයක් විය යුත්තේ මන් ද? මෙම කරුණ තේරුම් කිරීමට නම් විප්ලවවාදි යන්නෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න පැහැදිලි කර ගැන්ම අවශ්‍ය ය. සමාජ විප්ලවයක් යනු පවතින සමාජ ක්‍රමයයක් වෙනස් කොට -රූපාන්තකරණය කොට- ඒ වෙනුවට වෙනත් මූලධර්ම මත ගොඩ නැගුන සමාජ ක්‍රමයයක් බිහි කිරීම ය. එය දිගුකාලින ක්‍රියා දාමයකි. මෙවන් රූපාන්තකරණයක් වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුල සිදුවීම ගැන අපි කියවා ඇත්තෙමු. අප අද කථාකරන සමාජ වෙනස මෙයට වඩා වෙනස් එකකි. වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුල අප දුටුවේ එක් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් වෙනුවට වෙනත් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් ඇති කිරීම ය. අද අප අරගල කරන්නේ පෙෳද්ගලික දේපොල ක්‍රමයම නැති කරන සමාජ විප්ලවයක් සදහා ය. මෙය පරිපූර්ණ රූපාන්තකරණයක් ය. එක් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් තුල වෙනත් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් ගොඩ නැගිය හැක. එහෙත් පෙෳද්ගලික දේපොල ක්‍රමයක රාමුව තුල එසේ නොවන ක්‍රමයක් බිහිවීම සිදුවීමට ඇති ඉඩ අඩු ය. එවන් කලලයන් බිහිවුව ද එක්කෝ ඒවා පෙෳද්ගලික දේපොල ක්‍රමය විසින් විනාශ කර දමනු ලබයි, නැත්නම් එයටම ඇදා ගනු ලබයි. සමුපකාර ව්‍යාපාරයනට සහ ජනසතුකල ව්‍යාපාරයනට අද සිදුවන දෙය මෙයට හොද උදාහරණයකි. 

2. වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ විප්ලවය යන්නෙන් අදහස් කෙරුනේ කිසියම් ප්‍රමාණයකට ගොඩ නැගුන ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ තව දුර වර්ධනයට වැඩවසම් පාලනය නිසා වන බාධා ඉවත් කිරීම ය. වෙනත් වචන වලින් කියන්නේ නම් කිසියම් ප්‍රමාණයකට වර්ධනය වී තිබුන ධනේශවර සම්බන්ධතා තවදුර වර්ධනයකට අවශ්‍ය තත්ත්වය නිර්මානය කිරීම ය. 

3. ධනේශවර දේශපාලන විප්ලවය සිදුවන්නේ ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලියේ මගකදී ය. එහෙත් කොමියුනිස්ට් විප්ලවය සිදුවිය යුත්තේ සමාජවාදි සමාජ පරිවර්තනයේ පටන් ගැන්මේදී ම ය. සමාජවාදි සමාජ පරිවර්තනය පටන් ගැනෙන්නේ දේශපාලන විප්ලවයකිනි. අපි මුලින්ම බලය පිළිබද ප්‍රශ්නය විසදාගත යුතු වෙමු. 

 4, නැවත අපි ආරම්භක ප්‍රශ්නයට යමු. ඇයි කම්කරු පන්තිය? වෙනත් කිසිම පන්තියකට හෝ බලවේගයකට ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමිය නොහැකි යැ යි මෙයින් අදහස් නොවේ. හමුදා, තරුණ සහ ගොවි කැරලි එසේ පවත්නා රාජ්‍යයයන් පෙරලීමට සමත් වූ තත්ත්ව නැත්තේ නොවේ. හැම විටම වාගේ ධනේශවර දේශපාලන බලයයන් පෙරලා දැමූ විප්ලව බහු පාන්තික මැදිහත්වීම් ය. කම්කරු පන්තියට මෙම සටනේ ප්‍රධාන භුමිකාවක් හිමිවේය යන අදහස කරුනු කිහිපයක් මත පදනම් වේ. 1. මෙය ඉතිහාසයේ පළවෙනි වරට සමාජ බහුතරය බලගතු සුලුතරයට එරෙහිව කරන විප්ලවය ය. ධනේශවර සමාජ සම්බන්ධතා වර්ධනය වීම සමග සමාජ බහුතරය වන්නේ කම්කරු පන්තිය ය. 2. ධනේශ්වර කර්මාන්ත ශාලා ක්‍රමය සමග කම්කරුවෙකුට තනිව වැඩ කළ නොහේ. මෙම වැඩ ක්‍රමය අනීවාර්යයෙන් සාමුහික ප්‍රයත්නයකි. කොමියුනිස්ට් ක්‍රමය සාමුහික අයිතිය සහිත සාමුහික නිශ්පාදන ක්‍රමයකි. 3. ධනේශ්වර ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය අඩස්සි කළ හැක්කේ කම්කරු පන්තියට ය. 4. ධනේශ්වර සමාජය ප්‍රධාන වශයෙන් නාගරික සමාජයකි. නගරවල වසන බහුතරය කම්කරුවන් ය. සමාජ විප්ලවය ප්‍රධාන වශයෙන් ඇති වන්නේ නගරවල ය. 

5. කොමියුනිස්ට් විප්ලවයක් ජය ගැන්මට කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් අවශ්‍යම ද? පහුගිය වසර 150 ක පමණ ඉතිහාසය පෙන්වන්නේ විප්ලවවාදී පක්ෂ නොමැතිවත් විප්ලව ජයගත් බව ය. විප්ලවය දෙශපාලන-මිලිටරි ක්‍රියාදාමයකි. මෙම අංග දෙක අතර තුලනය තත්ත්වානුකූලව වෙනස් වන්නේ ය. විප්ලවවාදී පක්ෂ නොමැතිවත් විප්ලව ජයගත් නමුදු එහි ජයග්‍රහණය සපථ කර ගැන්මට විප්ලවවාදී පක්ෂයක් තිබීම ලොකු සහතිකයක් ය. ශක්තිමත් සංහතික ජන නැගිටීම් අවසන ප්‍රතිගාමිත්වයේ ජයග්‍රහණයන්ගෙන් අවසන් වීම අපි අරාබි වසන්තය තුල දුටුවෙමු. ලතින් අමරිකාවේ විප්ලව අතරමග නතරවින. මෙම හේතුව නිසා ජනතා ශක්තීන් පසුගිය කාලය තුල විශාල වශයෙන් අපතේ යාමක් අපි අත් දැක්කෙමු. මේ නිසා විප්ලවවාදී පක්ෂයක පැවැත්ම විප්ලව ජයග්‍රහණය සදහා වැඩි සහතිකයක් ය. 

ලෙනින් සහ විප්ලවවාදී පක්ෂය

6. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම ලෙනින් ජීවිතයේ මූලික චරිතාංගය වී යැ යි කිවහොත් එය නිවැරදි ය. රුසියාව ගොවි ජනතාව ජනගහනයේ බහුතරය වූ පසුගාමි රාජ්‍යයයක් විය. එහි පාලනය පරමාධිපත්‍ය රාජාංඩුවක් මගින් කෙරින. එමෙන්ම නගර ආශ්‍රිතව කර්මාන්ත ශාලා සහ ආකරවල කම්කරු පන්තිය ද ශක්තිමත් බල වේගයක් වූයේ ය. සමාජයේ ඉහල තීරුව ආසන්නව පරමාධිපත්‍ය රාජාංඩුව සමග බැදී තිබින. එවන් තත්ත්වයක දී රුසියාවේ ධනේශවර විප්ලවයේ නායකත්වය ගැන්මට එරට ධනපති පන්තියට නොහැකි යැයි ලෙනින් නිගමනය කලේ ය. එමෙන්ම රුසියාවේ විප්ලවය ජයග්‍රහණය කිරීමට නම් ගොවි ජනතාව දේශපාලන කරලියට ගැන්ම අත්‍යවශ්‍ය සාධකයක් ය. ධනේශවර විප්ලවයේ කර්තව්‍යයයන් ඉටු කිරීමත්, ගොවි ජනතාව දේශපාලන කරලියට ගැන්මත් කළ හැක්කේ කම්කරු පන්තිය ශක්තිමත් ලෙස සංවිධානය වුවහොත් පමණි. කම්කරු-ගොවි ආංඩුවක් බිහිකිරීමේ විභවය සාක්ෂාත් කරගත හැක්කේ එම කොන්දේසිය මගිනි.  කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම ගැන ලෙනින්ගේ අදහස අප කියවිය යුත්තේ මෙම සන්දර්භය තුල පිහිටමිනි. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයට බැදෙන හැම සාමාජිකයෙකුම ලෙනින් ගේ කළ යුත්තේ කුමක් ද? කෘතිය අනීවාර්යයෙන් කියවිය යුතු ය. ලෙනින්ගේ අදහසේ සමහර කරුණු රුසියානු සංයුක්ත තත්ත්වයට පමණක් වලංගු ඒවා ය. සමහර කරුණු ඕනෑම රටක කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ දී පිලිපැදිය යුතු ඒවා ය. 

7, කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය තේරුම් දෙකකින් ධනේශ්වරයෙන් ස්වාධීන විය යුතු වේ. 1. එය ධනේශවර පන්තියෙන් සහ ඒ හා ගමන් ගන්නා සුලු ධනේශවර සංවිධාන වලින් සම්පූර්ණයෙන් ස්වාධිනව සංවිධානය විය යුතු වේ. එහිලා අයෝමය විනයක් පවත්වාගත විය යුතු විය. 2. ඕනෑම සමාජයක ආධිපත්‍ය දෘෂ්ඨිවාදය සමාජයේ අධිපති පන්තිවල දෘෂ්ඨිවාදය ය. ධනේශ්වර සමාජයේ බලගතු දෘෂ්ඨිවාදය වන්නේ ධනපති දෘෂ්ඨිවාදය ය. එම දෘෂ්ඨිවාදය කම්කරු පන්තිය තුල ඇති කරන්නේ වැරදි විඥාණයකි. මෙම වැරදි විඥාණය විවිධ වේශයන්ගෙන් පැමිණේ. වෘත්තිය සමිති වාදය සහ ආර්ථික වාදය මෙම වැරදි විඥාණය කම්කරුවන් අතරට එන ප්‍රධාන ස්වරූප දෙක වේ. මේ හැර පාරිභෝගිකවාදය, ජාතිකවාදය, වැනි නොයෙක් හැඩරුව අපට වර්තමාන සමාජයේ දැකිය හැක. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය මෙම වැරදි විඥාණය වගාකරන දෘෂ්ඨිවාදයනට එරෙහිව නිරන්තර සෝදිසියකින් සිටිය යුතු ය. එය තුල ප්‍රතිජීවකයන් හැම විටම සක්‍රීයව පැවැත්ම අවශ්‍ය ය. ධනේශවර ක්‍රමය තුළ පැවතිය හැකි එකම ස්වාධීන වසම කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ය. 

8. පරමාධිපත්‍ය රාජාංඩුවක මර්ධනකාරි තන්ත්‍රයක් යටතේ ක්‍රියාත්මක වූ නිසාම බෝල්ශේවික් පක්ෂයට බොහෝවිට ක්‍රියා කරන්නට වූයේ රහසිගත හෝ අර්ධ-රහසිගත සංවිධානයක් ලෙස ය. වඩාත් මර්ධනකාරී යූරල් වැනි පලාත්වල පන්තිය සන්නද්ධ කිරීම මුල් කාලයේ සිටම අවශ්‍ය විය. එමනිසා ම පක්ෂ සාමාජිකත්වය තෝරාගත යුතු වූයේ පරෙස්සමෙනි. 

අන්තෝනියෝ ග්‍රැම්ස්කි ගේ නූතන කුමාරයා

9. ග්‍රැම්ස්කි කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගැන සාකච්ඡා කරන්නේ රුසියාව ට වඩා වෙනස් සමාජ සන්දර්භයක් තුල ය. ඔහු නගන ප්‍රශ්නය: ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පවතින එහෙත් විවිධ පසුගාමි ලක්ෂණ පවතින රටවල කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය කුමන ස්වරූපයක් ගන්නේ ද? කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය තේරුම් දෙකකින් ධනේශ්වරයෙන් ස්වාධීන විය යුතු ය යන අදහස, ග්‍රැම්ස්කිද තම පදනම කර ගනියි. එහෙත් ග්‍රැම්ස්කි ට අනුව කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයට අනුකලනීය රාජ්‍ය (integral sttae) සන්දර්භයක ක්‍රියාත්මක වීමේ දී රුසියාවේ දි මෙන් කටයුතු කළ නොහැක. 1921 තුන්වන ජාත්‍යන්තරයේ තෙවන සම්මේලනයේ දී පක්ෂ සංවිධානය ගැන අනුමත කළ යෝජනාවෙහි ප්‍රායෝගික බව ගැන හේ සැක කලේ ය. එය පදනම් වූයේ රුසියානු සන්දර්භය ය. අනුකලනීය රාජ්‍යයක = දේශපාලන සමාජය + සිවිල් සමාජය. මේනිසා රුසියාවේ මෙන් සැලසුම්කල ප්‍රහාරයක් මගින් රජය බිදිය නොහේ. රජය බිදුන ද සිවිල් සමාජය හරහා පාලක පන්තිය රජය යලි අත්පත් කර ගන්නේ ය. මේ නිසා දණ්ඩ බලය මෙහෙයවන දේශපාලන සමාජය මෙන්ම ධර්ම බලය හසුරුවන සිවිල් සමාජයද අත්පත් කර ගැන්මෙන් පමණක් පවත්නා රාජ්‍යය බිද නව අනුකලන රාජ්‍යයක් ගොඩ නැගිය හැක. මෙම කරුණ කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ දී අප සිත්හි ධාරණය කරගත යුතු ය. 

10. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ දී සමාජ ආර්ථික පසුබිම වැදගත් ය. දේශපාලන පක්ෂයක් ස්ථාවර සංවිධානයක් විය හැක්කේ කුමන තත්ත්වයක දී ද? එසේ වන්නටනම් දේශපාලනය ආර්ථිකය සමග අනන්‍ය කිරීමෙනි. “දේශපාලනය ස්ථාවර නොනවතින ක්‍රියාවක් බවට පත්වන්නේ සහ එය ස්ථාවර සංවිධානයකට උපත දෙන්නේ එය ආර්ථිකය සමග අනන්‍ය වන තරමට ය” (Prison Notebooks, 139-40). එමෙන්ම දේශපාලනය සහ ආර්ථිකය එකිනෙකින් වෙනස් වේ. ආර්ථික තලයෙන් මතු වුව ද දේශපාලනය එය සමතික්‍රමණය කරයි. උද්වේගයන් සහ අභිලාෂයන් රංගනයට කැදවයි.

11. මෙවන් සුවිශාල කාර්යභාරයක් ජයගත හැක්කේ නූතන කුමාරයෙකුගේ නායකත්වයෙනි. මෙම නූතන කුමාරයා ෆැන්ටසියක් නිර්මාණය කරයි. මෙම නූතන කුමාරයා පුද්ගලයෙකු නොවේ. එසේ විය නොහැක. එය දේශපාලන පක්ෂය ය. මෙම දේශපාලන පක්ෂය ජාතික ජනප්‍රිය සාමුහික අභිමතය නිරූපණය සහ නියෝජනය කිරීමට හැකිවිය යුතු ය. එහිලා කරුණු දෙකක් සාක්ශාත් කර ගැන්මට හැකිවිය යුතු ය. 1. ජාතික ජනප්‍රිය එකගත්වය ඇති වැඩපිලිවෙලක් එය පෙරට දැමිය යුතු ය. දෙවනුව  2. එයට ශාස්ත්‍රීය සහ ආචාර ධාර්මික නායකත්වයක් දිය හැකිවිය යුතු ය. අප මුලින් සාකච්ඡාකල හේතුන් පෙන්වන්නේ මෙම දේශපාලන පක්ෂය කම්කරු පාංතික පදනමකින් යුතු එකක් විය යුතු බව ය. “පක්ෂයකට පැවැත්මට ප්‍රධාන මුලයන් තුනක් ඒකරාශී එකට විය යුතු ය. 1. බහුජන මුලය: මේ පක්ෂයේ සාමාන්‍ය ජන පදනම ය. ඔවුනගේ සහභාගිත්වය නිර්මානාත්මක ගුණයක් හෝ සංවිධානාත්මක ශක්තියක ස්වරුපයකට වඩා විනය සහ ලැදියාව පෙන්නුම් කරන්නේ ය. මෙයින් තොරව පක්ෂයක් නොපවතින්නේ ය. එය ඇත්තකි. එහෙත් එය පමණක් තිබීමෙන් ද පක්ෂයකට පැවතිය නොහැකිය යන්න ද එවන් ම සත්‍යය කි. කවරෙකු හෝ ඔවුන් කේන්ද්‍රගත කල යුතු ය. සංවිධානය කල යුතු ය. විනයගත කල යුතු ය. ........... 2. ප්‍රධාන සංසක්ත මුලය: .... මෙම මුලයට විශාල සංසක්ත, කෙන්ද්‍රකරණිය සහ විනය පිහිටවීමේ බලයක් සහ විභවයක් ඇත්තේ ය. අන් යට පදනම සැකසෙන්නේ මෙම මුලය මගිනි. ... එහෙත් මෙම මුලය මගින් පමණක් පක්ෂයක් ගොඩ නැගිය නොහැකි ය යන්නද එවන් ම සත්‍යයකි. ..... 3. අතරමැදි මුලය: මෙය මගින් පලවෙනි මුලය දෙවන මුලය සමග ආඳනු ලබයි. ඒ දෙක අතර සම්බන්ධය පවත්වා ගනියි. ඒ භෞතික වශයෙන් පමණක් නොව ආචාර ධාර්මිකව සහ ශාශ්ත්‍රීය වශයෙනි. හැම පක්ෂයකම මෙම මුලයන් තුන අතර කිසියම් “ස්ථාවර අනුපාතයක්” පවතින්නේ ය. (Prison Notebooks, 152- 53 පිටු) 

12. මෙතනදී පක්ෂයක නිලධරය පිරිහීමට ඇති ඉඩකඩ ග්‍රැම්ස්කි අවධාරණය කරයි. “පක්ෂ වල වර්ධනය විශ්ලේෂණය කිරීමේ දී එහි සමාජ කාණ්ඩය, එහි බහුජන සාමාජිකත්වය, එහි නිලධර කුලකය සහ එහි ප්‍රධාන කාර්ය මණ්ඩලය වෙන් කොට තේරුම් ගැන්ම  අත්‍යවශ්‍ය වන්නේ ය. පක්ෂයේ නිලධරය එහි ඉතාමත් හනමිටිකාර සහ ගතානුගතික කොටස වන්නේ ය. එම කොටස සංඝන ශරීරයක් ලෙස ගොඩ නැගුන හොත්, එහි ශක්තිය මත පැවතිමට උත්සාහ කලොත් සහ බහුජන සාමාජිකත්වයෙන් එයට ස්වාධීනව පැවතිය හැකියැයි කල්පනා කළහොත් පක්ෂය එහි ජීව කාලය අවසන් වුවක් (කාලව්‍යාති = anachronist) බවට පත් වන්නේ ය. තියුණු අර්බුද අවධියක දී එහි සමාජ අන්තර්ගතය සිදී යන්නේ ය. එය කාටවත් නැති එකක් බවට පත් වේ.” (Prison Notebooks, 211 පිටු)

කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සහ අපේ කාර්යභාරය

13. උක්ත සටහන් අපේ කාර්යභාරය තේරුම් ගැන්මට ආලෝකයක් සපයයි. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගිය යුත්තේ අනුකලනීය රාජ්‍යයක් සහ ක්‍රමානුකූලව වියලී යන රාජ්‍යයයක් ගොඩ නැගීමට ය. 1917 න් පසු බෝල්ශේවික් අත්දැකිම් මෙහි ලා අපට දෙන පාඩම් බොහොමයක් ධනාත්මක ඒවා නොවේ. ග්‍රැම්ස්කි ට අනුව කාර්ය තුනක් කෙරෙහි අප සැලකිලිමත් විය යුතු ය. 1. දේශපාලන විප්ලවය සදහා ගොනුකළ යුතු සමාජ බලවේගයන්හි පෙරමුණක් සදහා ක්‍රියාත්මක වීම. මෙය ග්‍රැම්ස්කි හැදින්වූ හෙජමොනික කාණ්ඩය (“hegemonic bloc”) ය. එයට සමාජ පහත මාලයේ විවිධ පන්ති සහ කොටස් අයත් වේ. 2. එම සමාජ පහත මාලයේ විවිධ පන්ති සහ කොටස් අතර දේශපාලන විප්ලවය සහ සමාජ පරිවර්තනය පිළිබද පුලුල් තලයේ අභිමතයක් ඇති කිරීම. 3. අවශ්‍ය විටෙක යෙදීමට අවශ්‍ය බලය ගොඩ නගා ගැන්මට පියවර ගැන්ම. 

14. ශ්‍රි ලංකාවේ හෙජමොනික කාණ්ඩය ගොඩ නැගීම: ග්‍රැම්ස්කි පෙර සදහන් කළ පරිදි “දේශපාලනය ස්ථාවර නොනවතින ක්‍රියාවක් බවට පත්වන්නේ සහ එය ස්ථාවර සංවිධානයකට උපත දෙන්නේ එය ආර්ථිකය සමග අනන්‍ය වන තරමට ය.”  එමනිසා ශ්‍රි ලංකාවේ හෙජමොනික කාණ්ඩය ගොඩ නැගීමේ දී මෙරට පංති සම්බන්ධතා ගැන විශ්ලේෂණයකින් එය ආරම්භ කළ යුතු වේ. මෙරට සමාජ පහත මාලය සමන්විතවන ප්‍රධාන තීරු මෙසේ ය.
  1. ෆැක්ටරිගත, වරාය, පරිවහන සේවා සහ වතු කරයේ වැටුපට වැඩකරන කම්කරු පන්තිය.
  2. රාජ්‍ය අංශ, බැංකු වැනි අංශ කම්කරු පන්තිය.
  3. කෘෂි සහ ධිවර අංශවල දෛනික කම්කරු පන්තිය.
  4. කෘෂි සහ ධිවර වැනි අංශවල ප්‍රාග්ධනය නිර්මාණය කරන එහෙත් කෙලින්ම වැටුපකට වැඩනොකරන කම්කරු පන්තිය.
  5. සුලු නිශ්පාදනයෙහි නියුතු පහත් ආදායම් හබකයන්හි හිරවූ ගොවි සහ සුලු නිශ්පාදකයන්.
  6. සුලු වෙලෙන්දන් සහ කුඩා ව්‍යාපාර හිමියන්.
  7. රක්ෂා නැති අය.
  8. පශ්චාත් ද්විතීය අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ප්‍රජාව.

මෙම පහත සමාජ තීරුවට බල රහිත සහ සමාජ අද්දරට තල්ලු කෙරුන ජන වර්ග සහ කුල පිරිස් මෙන්ම වෙනස් ලිංගික චර්යාවන් සහිත පිරිස් ද ඇතුල් කළ හැකිවේ. මෙම සමාජ තීරු තම තමන්ගේ ස්ථිර හෝ තාවකාලික සංවිධාන රාමු ගොඩනගා ගනිති. එය ස්වාභාවික ය. එමෙන්ම එම ක්‍රියාදාමයේදී එම සමාජ තීරු තුලින්ම ඓන්ද්‍රිය නායකත්වයන් ද බිහිවේ. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය මෙම හෙජමොනික කාණ්ඩය සකසා ගැන්මේ දී මෙයට පෙර සදහන් කළ පරිදි 1. ජාතික ජනප්‍රිය එකගත්වය ඇති වැඩපිලිවෙලක් එය පෙරට දැමිය යුතු ය. දෙවනුව  2. එයට ශාස්ත්‍රීය සහ ආචාර ධාර්මික නායකත්වයක් දිය හැකිවිය යුතු ය. මෙතනදී මනෝරාජික සැලැස්මක් හෝ න්‍යායයාත්මක ප්‍රවාදයක් දීමෙහි ප්‍රයෝජනයක් නැත. කල යුත්තේ මෙම ජන කොටස්වලට නව ෆැන්ටසියක් නිර්මාණය කල යුතුවේ. 

15. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය සමාජ පහත මාලයේ කැමැත්ත සහ අභිමතය ලබා ගැන්මට නම් එක් අතකින් එහි සැලැස්ම සහ අදහස් සාමාන්‍ය දැනුම බවට පත් කිරීමට සමත් විය යුතු ය. අනෙක් අතට, කම්කරු පංතිය ප්‍රදානවන ආංඩුවක් තම අරමුණු සාක්ෂාත් කර ගැන්මට ඉදිරිපත්ව ඇති හොදම විකල්පය හැටියට ඔවුනට පෙනී යා යුතු ය. දැනුම නිර්මාණය කිරීම, විසරනය කිරීම, පුහුණුව සහ අධ්‍යාපනය වැනි දේශපාලන සංන්නිවේදන තලයෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ක්‍රියාත්මක විය යුතු ය. 


16. අවසාන වශයෙන් කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයේ සංයුතිය ගැන අපට අදහසක් තිබිය යුතු ය. ශ්‍රී ලංකාවේ ග්‍රාමිය පන්තීන්ගේ වැදගත්කම ද සැලකිල්ලට ගනිමින් මෙවන් දළ අදහසක් තිබීම වැදගත් ය. පක්ෂයේ බහුතරය සමන්වුය යුත්තේ වෘත්තිය සමිතිගත වූ මෙන්ම නොවූ කම්කරු පන්තියෙනි. මෙහිදී ද රටේ ආර්ථිකයේ තීරණාත්මක අංශ වෙතින් සාමාජිකයන් ඇද ගැන්ම විශේෂ අවධානයක් දැක්විය යුතු ය. ධනේශ්වර අර්බුදය සමග ධනේශවර සහ සුලු ධනේශ්වර උගතුන් සහ එවන් සමාජ තීරු වලින් එන ශිෂ්‍ය කොටස් විප්ලවීය දේසපාලනය වෙත ආකර්ශණය වීම ස්වාභාවික ය. එම සමාජ තීරු සමග ධනේශවර දෘෂ්ඨිවාදයන් ගේ බලපෑම පක්ෂය තුලට කාන්දු වීමට ඇති අවකාශය නොසලකා හැරිය නොහැකි හෙයින් එවන් සාමාජිකයන් බදවා ගැන්මේ දී පරිසසම් විය යුතු ය. මෙහිදී කළ යුත්තේ එවන් කොටස් අනවශ්‍ය සැකයනට හසු කිරීම නොව එම ධනේශවර පක්ෂයේ සමග දෘෂ්ඨිවාදයන් සමග ගැටිය හැකි සහ එම ප්‍රවණතා පරාජය කළ හැකි ශක්තිමත් දෘෂ්ඨිවාදයක් පක්ෂය සතු කර ගැන්මෙන් හා එම කොටස් පන්තිය සමග වැඩ කිරීමට යෙදවීමෙන් ය. 


















17. නොකඩවා කෙරෙන විප්ලවවාදී අධ්‍යාපනය මෙහිලා අනීවාර්ය සාධකයකි. පක්ෂයට පන්තියට සහ සමාජයටි තලයේ අනෙක් බලවේග වලට නායකත්වය දිය හැක්කේ එයට දෘෂ්ඨිවාදී නායකත්වයක් දිය හැකි නම් ය. ශාස්ත්‍රීය සහ ආචාර ධාර්මික නායකත්වයක් දිය හැකි බලයක් ලෙස සිවිල් සමාජය තුල පක්ෂයට මතුවිය හැක්කේ එසේ ය. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය කම්කරු පන්තියේ නායකයාවීම ප්‍රමාණවත් නොවේ. එය ජාතික ජනප්‍රිය සාමුහික ආභිමතයේ නියෝජිතයා සහ නියමුවා විය යුතු ය. 



Comments

Popular posts from this blog

සාකච්ඡාව සදහා වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? සුමනසිරි ලියනගේ
වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? නිර්ධන පන්තිය ලෙස සැලකිය හැකි පංති තීරූ මොනවාද? විප්ලවවාදී පක්ෂයක පන්ති පදනම වන්නේ සහ විය යුත්තේ කුමන පංතීන්ගෙන් ද? මා මෙම ප්‍රශ්නය මතු කරන්නේ න්‍යායාත්මක ප්‍රශ්නයක් හැටියට නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුල දේශපාලන ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමේදී ආසන්නව මතුවන ප්‍රශ්නයක් හැටියට ය. පසුගිය වසර දෙක තුල ඇතිවුන මා සහභාගී වූ දේශපාලන සාකච්ඡා කිහිපයක දීම මෙම ප්‍රශ්නය මතුවිණ. එහෙත් එම ප්‍රශ්නය මතු වූ අවස්ථා හැම එකකදීම වාගේ අපි එම ප්‍රශ්නය සමග නිශ්චිතව පොර බැදීම අත්හැර දැම්මෙමු. ඒ එය දිගට ගෙන යාමෙන් අප මාක්ස්වාදයේ ශුද්ධ වූ පාඨයන් ගෙන් බිදී යාදෝ යන බියෙනි. මෑතකදී වෟත්තීය සංගමයක් තුල ඇතිවූ සාකච්ඡාවකදී මෙම කරුණ වඩාත් සංයුක්තව මතුවිණ. වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුත්තේ කවුරුන් ද යනුවෙන් පැන නැගුන එම සාකච්ඡාවේදී සෟජු ලෙස නොවුන ද මතු වුයේ මෙම ප්‍රශ්නය ය. වැටුප් ශ්‍රමිකයා, නිර්ධනයා, සහ කම්කරුවා යන පද වලින් ජනප්‍රිය ලෙස හැදින්වුව් ද නැත ද වැටුපට වැඩකරන කොටස් වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුතු ය යන්න සාමාන්…
Is The Constitution A Key?
FacebookTwitterGoogle+Share