Skip to main content

සාකච්ඡාව සදහා
වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද?
සුමනසිරි ලියනගේ

වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? නිර්ධන පන්තිය ලෙස සැලකිය හැකි පංති තීරූ මොනවාද? විප්ලවවාදී පක්ෂයක පන්ති පදනම වන්නේ සහ විය යුත්තේ කුමන පංතීන්ගෙන් ද? මා මෙම ප්‍රශ්නය මතු කරන්නේ න්‍යායාත්මක ප්‍රශ්නයක් හැටියට නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුල දේශපාලන ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමේදී ආසන්නව මතුවන ප්‍රශ්නයක් හැටියට ය. පසුගිය වසර දෙක තුල ඇතිවුන මා සහභාගී වූ දේශපාලන සාකච්ඡා කිහිපයක දීම මෙම ප්‍රශ්නය මතුවිණ. එහෙත් එම ප්‍රශ්නය මතු වූ අවස්ථා හැම එකකදීම වාගේ අපි එම ප්‍රශ්නය සමග නිශ්චිතව පොර බැදීම අත්හැර දැම්මෙමු. ඒ එය දිගට ගෙන යාමෙන් අප මාක්ස්වාදයේ ශුද්ධ වූ පාඨයන් ගෙන් බිදී යාදෝ යන බියෙනි. මෑතකදී වෟත්තීය සංගමයක් තුල ඇතිවූ සාකච්ඡාවකදී මෙම කරුණ වඩාත් සංයුක්තව මතුවිණ. වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුත්තේ කවුරුන් ද යනුවෙන් පැන නැගුන එම සාකච්ඡාවේදී සෟජු ලෙස නොවුන ද මතු වුයේ මෙම ප්‍රශ්නය ය. වැටුප් ශ්‍රමිකයා, නිර්ධනයා, සහ කම්කරුවා යන පද වලින් ජනප්‍රිය ලෙස හැදින්වුව් ද නැත ද වැටුපට වැඩකරන කොටස් වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුතු ය යන්න සාමාන්‍යයෙන් පිළිගත් අදහස ය. නිර්ධනයින් (proletarians) ලෙස සැලකිය හැක්කේ එම කොටස - වැටුප් ශ්‍රමිකයන් - පමණක් ද? මා මෙම සටහනෙන් අදහස් කරන්නේ මෙම ප්‍රශ්නයන් ගැන යලි කියවීමක් අවශ්‍ය බව අවධාරණය කිරීමට ය.
ධනේශ්වර සමාජ-ආර්ථික ක්‍රමය වෙනස් කොට සමාජවාදී සමාජ පරිවර්තනයක් කිරීම සදහා නිර්ධන පංතිය ප්‍රධාන කොටගත් සමාජ පහත මාලයේ ජන කොටස් වල බලයයක් පිහිට විය යුතු වේ. මෙම බල මාරුව නිර්ධන පංතික විප්ලවය (proletarian revolution) ලෙස හැදින්විය හැක. නිර්ධන පංතික විප්ලවය ඉතිහාසයේ මෙයට පෙර ඇති වූ කැරලි, අරගල සහ විප්ලවයන් ගෙන් කරුණු ගණනාවක් නිසා වෙනස් වන්නේ ය. ඒ එය නිර්ධන පංතිය ප්‍රධාන කොටගත් සමාජ පහත මාලයේ ජන කොටස් වල බලයයක් නිර්මාණය කිරීමේ සටනක් පමණක් නිසා නොවේ. එය අවසාන වශයෙන් පංති රහිත, රාජ්‍යය වියලී යාමට ඉඩ හරින සහ අවශ්‍යතාවයනට නොව නිදහසට ප්‍රමුඛත්වය දෙන නව පර්වර්තනයක් අපේක්ෂා කරන්නක් ද වන හෙයිනි. එම තේරුමෙන් ගත් විට, එය මෙතෙක් දිග ඇරුන ඉතිහාසය කණපිට ගසන්නාක් ද වන්නේ ය. ඒ සදහා පැරණි ඉතිහාසය පෝෂණය කල එම සන්දර්භය තුල ගොඩ නැගුන දෘෂ්ඨිවාදයන්ගෙන් ඛන්ඩනයක් ද එමනිසා අවශ්‍ය වන්නේය. මෙය කෙටියෙන් පැහැදිලි කිරීමට මට ඉඩ දෙන්න. කාල්මාක්ස් තම ප්‍රාග්ධනය පොතේ පලවෙනි වෙළුමේ දහවෙනි පරිච්චේදයෙහි වැඩ දිනය සංවිධානය කිරීම ආශ්‍රිතව ප්‍රාග්ධන හිමියා සහ කම්කරුවා අතර නෛසර්ගිකව ඇතිවිය හැකි අරගලය විස්තරාත්මක ලෙස සාකච්ඡා කලේ ය. වැඩ දිනය අත්‍යන්තයෙන්ම සීමිත ය. එය පැය දොළහකට වඩා වැඩි කල නොහැකි යැයි අපි උපකල්පනය කරමු. වැඩ කරන පුද්ගලයෙකුට තමාගේ සහ තම පවුලේ අවශ්‍යතා සපුරා ගැන්මට නම් තමන් ස්වාධීනව ස්‌වයං රැකියාවක නිරත වුව ද පැය හයක් වැඩ කල යුතු යැයි අපි සිතමු. එසේනම් ප්‍රාග්ධන හිමියා ලග ඔහු වෙනුවෙන් පැය හයක් වැඩ කිරීමෙන්, මෙම කම්කරුවා කිසිවක් ප්‍රාග්ධන හිමියා වෙනුවෙන් නිපදවන්නේ නැත. එහෙත් ඔහුගේ ගිවිසුමේ ප්‍රකාර ඔහුට දිනකට පැය හයකට වැඩ කිරීමට සිදු වන්නේ නම්, හේ ප්‍රාග්ධන හිමියා වෙනුවෙන් කිසියම් කොටසක් නිපදවයි. මෙන් මාක්ස් පෙන්වා දෙන්නේ පැය හයකට වැඩ දිනය සීමා කල හැකිනම් එය කම්කරුවාට වාසි වන බවත් පැය දොළහක සීමාවට යා හැකි තරමට ප්‍රාග්ධන හිමියාට වාසි වන බවත් ය. එනයින් වැඩබිම තුල වැඩ දිනය සම්බන්ධව නෛසර්ගික අරගලයක් ප්‍රාග්ධන හිමියා අතරත් කම්කරුවන් අතරත් ඇතිවන්නේ ය. දහඅට සහ දහනව වෙනි සියවස් වල මෙම අරගලය මාක්ස් විච්ත්‍ර සහ විස්තරාත්මක ලෙස මාක්ස් විස්තර කරයි. මෙය ප්‍රාග්ධන හිමියාගේ ලාභය ත් කම්කරුවාගේ ජීවිතය ත් අරබයා කෙරෙන අරගලයකි.
විසිවෙනි සියවසේ මුල් වසර කිහිපයේදී මෙම නෛසර්ගික අරගලයයන් පිලිබදව වෙනත් ප්‍රිසමයකින් බැලීමට ලෙනින් ට සිදුවිය. හේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් ‘කළ යුත්තේ කුමක් ද’ යන කෘතියේදී නැගුවේ ය. මෙම අරගලයයන් තුල කම්කරු පන්තියට නිසගයෙන් ම ඇති කරගත හැකි දැනුවත්කම කුමක් ද? එම දැනුවත්කම නව සමාජ පරිවර්තනයක් ඇති කිරීමට ප්‍රමාණවත් ද? කම්කරු පන්තියට නිසගයෙන් ම අරගලයයන් ඇති කරගත හැකි දැනුවත්කම හේ දුටුවේ වෘත්තීය සමිති වාදය හැටියට ය. එම සංවිධාන හරහා සහ මගින් කම්කරුවනට තමනට වඩා සාධාරණ වැඩ දිනයක් වැනි ප්‍රශ්න විසදා ගැන්මට ඇති විභවය හේ දුටුවේ ය. එහෙත් වෘත්තීය සමිති වාදය දෘෂ්ඨිවාදයක් ලෙස සමාජ පරිවර්තනයකට ප්‍රමාණවත් නොවේ. එම දෘෂ්ඨිවාදය ගොඩ නගා ගත හැක්කේ වෘත්තීය සටන්වල අනුභූතිය තුලින් පමණක් නොව සමස්ථ ඓතිහාසික විශ්ලේෂණයක් හරහා ය. ධනේශ්වර සහ අතීත දෘෂ්ඨිවාදයනට එරෙහි නොනවතින අරගලයකිනි. මෙන් ලෙනින් ගේ සමස්ථ ජීවිත කාලයේ ප්‍රධානතම අරගලයක් වුයේ නිර්ධන පන්තිය තුල මෙම දෘෂ්ඨිවාදී අරගලය ය. මෙම නව දෘෂ්ඨිවාදය ගොඩ නැගිය හැකි සහ ආරක්ෂා කරගත හැකි එකම වසම ලෙස ලෙනින් දුටුවේ නිර්ධන පංතික විප්ලවවාදී පක්ෂය ය. එය ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව සංවිධානය කල යුතුවනු පමණක් නොව එය විවිධ ධනේශ්වර දෘෂ්ඨිවාදයයන් ගෙන් ද ස්වාධීන කර ගත යුතු ය.
මෙම විප්ලවවාදී පක්ෂය නිර්ධන පංතිය පදනම් කර ගත යුතු යැයි අප සදහන් කරන්නේ කුමන හේතු මත ද? පවත්නා තන්ත්‍රයන් විවිධ සටන් මගින් පෙරලා දමනු අපි දැක ඇත්තෙමු. එමෙන්ම එම තන්ත්‍ර මාරු වලින් ලොකු දුරදිග යන වෙනසක් ඇති නොවුන බව ද අපි අත්දැක ඇත්තෙමු. ධනේශ්වර සමාජ ක්‍රමය පෙරලා දමා නව සමාජ සංවිධාන රාමුවක් සදහා කෙරෙන පරිවර්තනයකට හුදු එවන් තන්ත්‍ර මාරුවක් ප්‍රමාණවත් නොවේ. එවන් අරගලයක නිර්ධන පන්තිය ඔවුනගේ නව සංවිධාන රාමු හරහා පෙරමුණ ගත යුතුවේ. එසේ වන්නේ මන්ද යන්නට හේතු තුනක් දැක්විය හැක.
*    ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිර්ධන පන්තියේ තීරණාත්මක භූමිකාව සහ රටක ජනගහනයෙන් එහි ප්‍රමාණාත්මක වැදගත්කම;
*    වර්තමාන සමාජ සන්දර්භය තුල ඔවුන් අත්දකින පරාරෝපනය නැත්නම් තාද්ගම්‍යතාවය;
*    ප්‍රාග්ධනයේ සුරාකෑමට නිර්ධන පංතිය නිරන්තරයෙන් ලක්වීම එම හේතුන් වේ.
තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ අනාගත සමාජය ගොඩ නැගීමේදී එම නව තත්ත්වයට අනුගත වීමට නිර්ධන පංතියට ඇති නිසග හැකියාව ය. එම හැකියාව ඔවුනට ලැබෙන්නේ කාලාන්තරයක් මුළුල්ලේ සාමුහිකව වැඩ කරමින් සමාජගත නිෂ්පාදනයක නියැලීමෙන් ඔවුන් ලද අනුභුතිය ය.
නිර්වචන
උක්ත කරුණු සම්බන්ධයෙන් මා සදහන් කල සහභාගී වූ බොහෝ අය අතර සහේතුක එකගතාවයක් තිබිණ. මතභේදය ඇතිවන්නේ නිර්ධන පංතිය කෙසේ නිර්වචනය කරන්නේ ද? එයට අයත් වන සමාජ තීරු කවරේ ද? යන ප්‍රශ්න සමග ය. සාකච්ඡාවට ප්‍රාරම්භයක් ලෙස නිර්ධන පංතිය යන්නට අර්නස්ට් මැන්ඩෙල් දෙන නිර්වචනය ඉදිරිපත් කරමු. එය මෙසේ ය. “නිෂ්පාදන මාර්ගවලට හෝ යැපීමේ මාර්ගවලට හිමිකාරත්වයක් නැතිවීම හේතු කොටගෙන බහුල වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක තම වැඩකිරීමේ ශක්තිය -ශ්‍රම ශක්තිය - විකිණීමට මිනිසුනට බල කෙරෙන තත්ත්වය නිර්ධන පංතික තත්ත්වය ලෙස කැටිකොට දැක්විය හැක.” තවත් විධියකට එය දක්වතොත්, නිර්ධනයා තම ශ්‍රම ශක්තිය විකුණා වැටුපකින් ජීවත් වන්නෙකි. අප අතර ප්‍රචලිත නිර්වචනය ද මෙය ය. මෙම නිර්වචනය 1847 දී ෆෙඩ්රික් එංගල්ස් විසින් ලියු කොමියුනිස්ට්වාදයේ මුලධර්ම යන ලියවිල්ලේ ඉදිරිපත් කල පහත දැක්වෙන නිර්වචනයට ආසන්න නෑකමක් පෙන්වයි. “නිර්ධන පන්තිය යනු තම ශ්‍රම ශක්තිය අලෙවි කිරීම මගින් පමණක්ම ඔවුනගේ ජීවනෝපායට අවශ්‍ය වන මුළු දේම අත්පත් කරගන්නා සමාජ පන්තිය ය.”  
අප මෙම නිර්වචනය ඒ ආකාරයෙන් ම පිළිගන්නේ ද? සංයුක්තව නිර්ධන පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේදී එහි පංති පදනම මෙම නිර්වචනය අනුව යමින් ම සකස් කර ගන්නේ ද? මෙම සාකච්ඡා කඩදාසිය මගින් මා යෝජනා කරන්නේ මෙම නිර්වචනය එම සීමා යටතේ ම පිලි නොගත යුතු බවත්, නිර්ධන පංතිය නිර්වචනය කිරීමේදී ඊට වඩා වෙනස් විග්‍රහයකට යායුතු බව ය. ඥාණ විභාගාත්මක තලයෙහි ලා සාකච්ඡාව පටන් ගැන්ම යෝග්‍ය යැයි සිතමි. ඊලගට මාක්ස් ගේ වඩා සංයුක්ත පන්ති විග්‍රහයන් හිදී ඔහු යොදාගත් නිර්වචනයන්ගෙන් නව නිර්වචනයක් සකසා ගැන්මට දෙවනුව මම අදහස් කරමි.
සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර පද කිහිපයක අර්ථයන් කෙටියෙන් හෝ පැහැදිලි කිරීම අවශ්‍ය වේ. මෙයින් පලවෙනි පදය නිෂ්පාදන මාදිලිය (mode of production) ය. දෙවන පදය සමාජ සංස්ථාපනය (social formation) යන්න ය. මෙයින් දෙවන පදය මගේ දැනුමේ හැටියට 1960 ගණන් වල දී ව්‍යහාත්මක මාක්ස්වාදීන් හදුන්වා දුන් එකකි. මෙම පදයයන් සම්බන්ධ දීර්ඝ සහ විචිත්‍ර විවාදයට පැටලීමට මම මෙහිදී අදහස් නොකරමි.
නිෂ්පාදන මාදිලිය: මෙම පදය මාක්ස් අර්ථ දෙකකින් යොදා ගත්තේ ය. පලවෙනි තේරුමෙන් හේ මෙම පදය යොදා ගත්තේ නිෂ්පාදනයේ තාක්ෂණික ක්‍රියාවලිය හැදින්වීමට ය. ධනේශ්වර ක්‍රමයේ බිලිදු අවධියේදී විශ්ෂයෙන් පේෂ කර්මාන්තයේදී යොදාගත් නිෂ්පාදන මාදිලිය ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ වර්ධනයට බාධාවක් වී යැයි හේ සදහන් කරන විට හේ කතා කලේ පේෂ කර්මාන්තයේදී යොදා ගැනුන තාක්ෂණික ක්‍රියාවලිය පිලිබදව ය. මෙම තෙරුමෙන්ම හේ කෘෂිකාර්මික නිෂ්පාදන මාදිලියක් ගැන ද Grundrisse හිදී කථා කලේ ය. ශ්‍රී ලංකාවෙන් උදාහරණයක් ගෙන පෙන්වීම මෙය තේරුම් ගැන්මට උදව්වක් වනු ඇත. දහනව් වෙනි සියවසේ ලංකාවේ වැවිලි ක්‍රමහි යොදාගත් නිෂ්පාදන මාදිලිය පසුගාමී, නොදියුණු සහ පුරවා ධනේශ්වර එකකැයි ආචාර්ය එස් බී ඩී ද සිල්වා තර්ක කරන විට හේ එම පදයෙන් අදහස් කලේ වැවිලි නිෂ්පාදනයේ යොදාගත් තාක්ෂණික ක්‍රියාවලිය ය. එමෙන්ම ලෙනින් රුෂියාවේ කෘෂිකර්මය ගැන කථා කරන විටද නිෂ්පාදන මාදිලිය, තාක්ෂණික ක්‍රියාවලියක් සමග සමාන කලේ ය.  
තම ලියවිලි සමහරක දී මාක්ස් නිෂ්පාදන මාදිලිය යන පදය දෙවැනි වඩා පළල තේරුමකින් යොදා ගත්තේ ය. ඒ කිසියම් සුවිශේෂ ඓතිහාසික අවධියක් හැදින්වීමට ය. වහල් නිෂ්පාදන මාදිලිය, වැඩවසම් නිෂ්පාදන මාදිලිය, ධනේශ්වර නිෂ්පාදන මාදිලිය, ආසියාතික නිෂ්පාදන මාදිලිය පිළිබද සාකච්ඡා කිරීමේදී හේ මෙම දෙවන අර්ථය යොදා ගත්තේ ය. පසුකාලීන සමහර මාක්ස්වාදීන් යටත් විජිත නිෂ්පාදන මාදිලියක් ගැන ද කථා කළහ. වහල් නිෂ්පාදන මාදිලිය, වැඩවසම් නිෂ්පාදන මාදිලිය, සහ ධනේශ්වර නිෂ්පාදන මාදිලිය ගැන ඓතිහාසික විකාශනය පිළිබද සාකච්ඡාවේ දී එම නිෂ්පාදන මාදිලින් අනු පිලිවෙලින් ඉතිහාසයේ ඇති වුයේ යැයි මාක්ස් කල්පනා කරේ නැත. එක්තරා නිෂ්පාදන මාදිලියක සුවිශේෂ ලක්ෂණ ඊට පෙර හෝ පසු නිෂ්පාදන මාදිලියක තිබීමට ඇති ඉඩකඩ මාක්ස් පිලි ගත්තේ ය. මෙම දෙවන තේරුමෙන් නිෂ්පාදන මාදිලිය යන පදය යොදන විට හේ එයින් අදහස් කලේ “නිෂ්පාදනයේ ඓතිහාසික සංවිධානය” නැත්නම් “නිෂ්පාදනයේ සමාජ ස්වරුපය” නැත්නම් “නිෂ්පාදන ක්‍රියාවලියේ සමාජ ස්වරුපය” ය. මෙම පද සමානවාචි ලෙස හේ තැනින් තැන යොදා ගත්තේ ය. මෙම දෙවන තේරුමට අනුව නිෂ්පාදන මාදිලිය යනු ශ්‍රමය හසුරුවන සහ යටත් කරගන්නා ආකාරයන් ය. එම ආකාරයන් පුළුල් පංති සම්බන්ධතාවයන් මගින් ප්‍රකාශනය වන්නේ ය. එමෙන්ම එම ආකාරයන් සමාජ සැකැස්ම මගින් ඇග වෙන්නේ ය. නිෂ්පාදන මාදිලිය, නිෂ්පාදන බලවේගයන් සහ නිෂ්පාදන සම්බන්ධතා, නිෂ්පාදන සම්බන්ධතාවල ප්‍රමුඛත්වයෙන් සංයෝජනය කරන්නේ ය.   
සමාජ සංස්ථාපනය: මා කලින් සදහන් කල ලෙස මෙම පදය බහුල වශයෙන් යොදා ගනු ලැබුවේ ව්‍යුහවාදී මාක්ස්වාදීන් ය. මගේ මතකය නිවැරදි නම් මෙම පදය ප්‍රචලිත කිරීමේ කීර්තිය හිමි වන්නේ අල්තුසර් ගේ ආසන්න සගය වූ බැලිබර් ට ය. ඔහුට අනුව සමාජ සංස්ථාපනය නිෂ්පාදන මාදිලියට වඩා සංයුක්තය ආවරණය කරන කුලකයකි. අපට හමුවන හැම සමාජයකම වාගේ විවිධ නිෂ්පාදන මාදිලින් ක්‍රියාත්මක වනු දැකිය හැක. එහෙත් ඒවා ක්‍රියාත්මක වන්නේ ආධිපත්‍ය නිෂ්පාදන මාදිලියක් යටතේ ය. අද ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය නිෂ්පාදන මාදිලිය ධනේශ්වර ය; එහෙත් පැරණි නිෂ්පාදන මාදිලියන් ගේ ශේෂයන් ඒ සමග ක්‍රියාත්මක වේ. මෙම නිර්වචනය පිළිබද විවිධ අදහස් පලව ඇත. කෙසේ වුවද මගේ අදහස් රාමුගත කිරීමට මෙම කුලකය ප්‍රයෝජනවත් යැයි සිතමි.
සණ්ඨානවාදී විග්‍රහයන්ගෙන් සහ කෘත වියුක්තකරණයන්ගෙන් ඔබ්බට
අප විග්‍රහයන් බොහෝවිට ප්‍රධාන දුර්වලතා දෙකකින් පීඩා විදියි. මෙයින් පලවැන්න වන්නේ අප දන්නා හෝ අපට විටෙක හමුවූ රූප ආශ්‍රය කරගෙන නව ප්‍රපංච, ව්‍යුහ සහ ක්‍රියාවලින් තේරුම් ගැන්මට යාම ය. අපි උදාහරණයක් ගනිමු. තවමත් ග්‍රාමීය ශ්‍රී ලංකාවෙහි තැනින් තැන අඳෙට ගොවිතැන් කිරීම දැකිය හැක. එමෙන්ම රාජකාරියේ ශේෂයන් ද විහාර ගම ආශ්‍රිතව අපට දැකිය හැක. මෙම සම්ප්‍රදායික වැඩවසම් ලක්ෂණ හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ගැමි සමාජය පුරව-ධනේශ්වර එකක් ලෙස අර්ථ දක්වන්නේ නම් අප අනුගමනය කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සණ්ඨානවාදී විග්‍රහ (formalist) ක්‍රමයක් ය. මෙහිදී අප ප්‍රපංච, ව්‍යුහ සහ ක්‍රියාවලින් තේරුම් ගන්නට යන්නේ රූපයන් ආශ්‍රයෙනි. කිසියම් ඓතිහාසික සන්දර්භයකදී ධනේශ්වර නිෂ්පාදන මාදිලිහි ආධිපත්‍ය සුරාකැමේ සම්බන්ධතාවය නිදහස් වැටුප් ලබන ශ්‍රමය වීම නිසාම ධනේශ්වර නිෂ්පාදනය හැමවිටම එම රුපය ආශ්‍රයෙන්ම හදුනා ගැන්මට යාම අපකරණ වරදකි. මෙය තවත් උදාහරණයකින් දැක්විය හැක. දහනව වෙනි සියවසේ මුල් භාගයේ ඇමරිකාවේ දක්ෂිණ ප්‍රාන්ත වල ආධිපත්‍ය ශ්‍රම සැපයුම සිදුවුයේ වහල් ක්‍රමය යටතේ ය. එයින් දහනව වෙනි සියවසේ මුල් භාගයේ ඇමරිකාවේ දක්ෂිණ ප්‍රාන්ත වල නිෂ්පාදන මාදිලිය පුර්ව ධනේශ්වර නැත්නම් වඩා නිශ්චිතව වහල් නිෂ්පාදන මාදිලියකැයි අප නිගමනය කරන්නේ ද? මෙය මාක්ස්ගේ අපෝහක භෞතිකවාදී විශ්ලේෂණ ක්‍රමය නොවේ.
අප අතින් සිදුවිය හැකි අනෙක් වරද කෘත වියුක්තීකරණය (forced abstraction) ය. මාක්ස් සම්භාව්‍ය දේශපාලන ආර්ථික විද්‍යාඥයනට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රධාන විවේචනයකි. මෙය. මෙයින් අදහස් වන්නේ කුමක් ද? වියුක්ත සංකල්ප සහ කුලක මගින් සංයුක්තය පැහැදිලි කිරීමට උත්සාහ කිරීමය. ඉතිහාසය විවිධ නිෂ්පාදන මාදිලින් හරහා ගමන් කරන්නේ ය යන අදහස වියුක්තව පිළිගෙන කෙනෙකු සංයුක්ත ඉතිහාසය හදාරනු වෙනුවට එකී සංකල්ප මගින් සහ හරහා ඉතිහාසය හදාරන්නට යන්නේ නම් එහිදී කෙරෙන්නේ කෘත වියුක්තීකරණය කි.   
මා සරලව ඉදිරිපත් කරන තර්කය මෙයයි. අප වැටුප් ශ්‍රමය, නිෂ්පාදන මාර්ගවලට හෝ යැපීමේ මාර්ගවලට හිමිකාරත්වයක් නැතිවීම හේතු කොටගෙන බහුල වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක තම වැඩකිරීමේ ශක්තිය -ශ්‍රම ශක්තිය - විකිණීමට බලකෙරුණ ගැහැණුන්ගේ සහ මිනිසුනගේ ශ්‍රමය ලෙස නිර්වචනය කළහොත් එය වැරදි නොවේ. එහෙත්, ධනේශ්වර ක්‍රමය සැබෑ වශයෙන් ක්‍රියාත්මක වීමේදී මෙම නිර්වචනයට හසු නොවන සමාජ තීරු වැටුප් ශ්‍රමිකයන් නැත්නම් නිර්ධන පංතිය ලෙස තේරුම් ගැනීමට අපට නොහැකි වන්නේ නම් අප මුලින් සදහන් කල ඥාණ විභාගාත්මක වරද වලට හසු වන්නේ ය. අපි දැන් සංයුක්ත ප්‍රශ්නයක් අසමු. පැලවත්ත සීනි කම්හලේ නිෂ්පාදනයට අවශ්‍ය උක් වගාව සමාගම මගින් පමණක් නොකරයි. අක්කරයක් හෝ අක්කර භාගයක් අයිති ගොවියෙකුට උක් වවන ලෙස සමාගම යෝජනා කරයි. ඔහුට අවශ්‍ය බීජ, පොහොර වැනි දේ සමාගම ලබාදෙයි. අස්වැන්න ලැබූ පසු ගෙවන පොරොන්දුව පිට ඔහුට කන්නයේ යැපීමට සමාගම ණයක් ද දෙයි. අස්වැන්න ලබාගත් පසු හේ සමාගමට උක් විකුණා ණය වලට හිලව් කරයි. දැන් ඔහුට වෙන්නේ සොච්චමක් පමණි. මොහු නිර්ධනයෙක් ද? නැත්ද? තවත් උදාහරණයක් ගනිමු. බාටා සමාගමේ වැඩ කල කම්කරුවන් සමාගම විසින් දොට්ට දමනු ලබයි. එහෙත් සමාගම ඔවුනට කියන්නේ අවශ්‍ය පහසුකම් සපයා දිය හැකි බවත් ඔවුනට නිවෙස් වල සිට නිෂ්පාදනය කර සමාගමට භාර දී ආදායමක් ලබාගත හැකි බවය. කලින් බාටා සමාගමේ වැටුප් ශ්‍රමිකයෙකු වූ මෙම පිරිස අප දැන් හදුන්වන්නේ කෙසේ ද? වැටුප් ශ්‍රමිකයා ලෙස අපට දී ඇති රුපය සමග මෙම කොටස් දෙකම නිශ්චිතව ගැලපෙන්නේ නැත. එමනිසා අප ඔවුන් වැටුප් ශ්‍රමිකයන් ලෙස නොදකින්නේ නම් අප සණ්ඨානවාදීන් මිස මාක්ස්වාදීන් නොවේ. අපි තවත් උදාහරණයක් ගනිමු. දෙල්තොට වත්තක දළු නෙලීම කල කම්කරු යුවතියක් එම රැකියාව අත්හැර කොළඹ නගරයට පැමිණ නිවෙසක සේවිකාවක ලෙස මාසික වැටුපකට වැඩ කරයි. ඇය තවමත් වැටුප් ශ්‍රමිකයෙක් ද? මෙම තත්ත්ව ගැන අපට නිගමනයකට ආ හැක්කේ සංයුක්ත විශ්ලේෂණයකින් මිස වියුක්ත කුලක සංයුක්තයට ආරෝපණය කිරීම මගින් නොවේ.
මාක්ස් තම ප්‍රාග්ධනය පොත ලියන විට කිසියම් රටක සංයුක්ත ඉතිහාසයට විශේෂයෙන් ආමන්ත්‍රණය කලේ නැත. තම කුලක සාධාරණය කිරීමට හේ සැබෑ තොරතුරු යොදා ගත්තේ ය. ඒ තම කුලකයන් සහ විශ්ලේෂණය කෘත වියුක්තීකරණයන් නොවන නිසා ය. නිෂ්පාදන මාදිලිය එම තේරුමෙන් සමාජ සංස්ථාපනය තේරුම් ගැන්මේ ක්‍රියාවලිය අවශ්‍ය අතරමැදි පුරුකකි. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය පිළිබද විග්‍රහයේ ප්‍රධාන භූමිකාව කරන්නේ පංති දෙකකි. ඒ කම්කරු පන්තිය (=නිර්ධන පන්තිය) සහ ධනපති පන්තිය ය. ප්‍රාග්ධනයේ චලනය නායාත්මකව විස්තර කිරීමට එය ප්‍රමාණවත් ය. අප මුලින් දැක්වූ අර්නස්ට් මැන්ඩෙල් ගේ සහ එංගල්ස් ගේ නිර්වචන ගලා එන්නේ ද එම විග්‍රහයෙන් ය. එයට සමාන නිර්වචනයක් ප්‍රාග්ධනය පොතෙන් උපුටා ගැන්මද අපහසු නොවේ. සමාජ සංස්ථාපනය එනයින් නිෂ්පාදන මාදිලියට වඩා සැබෑ ලොවට වඩා ආසන්න සංකල්පයකි. එහිදී නිෂ්පාදන මාදිලින් සම්මිශ්‍රණය වීම, වෙනත් නිෂ්පාදන මාදිලියක අංග ලක්ෂණ අලුත් නිෂ්පාදන මාදිලිය විසින් යොදා ගැන්ම වැනි ලක්ෂණ දැකිය හැක. කිසිම නිෂ්පාදන මාදිලියක් පරිපුර්ණ වර්ධනයක් ලබා ගැන්මට අසමත් වේ. රුශියාවේ වැඩවසම් වාදය පුර්ණව නොවැඩුන බව ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. මෙම ඉතිහාසයේ සම්මිශ්‍රිතබව න්‍යායාත්මක කුලක නිරන්තර ප්‍රශ්නයට ලක් කරයි. වැටුප් ශ්‍රමය පිළිබද නිර්වචනයට ද එය පොදු ය. වැටුප් ශ්‍රමය පිළිබද නිර්වචනය එමනිසා සකස් කර ගත යුතු වන්නේ සත්‍ය වියුක්තකරණයන් හරහා කෙරෙන සංයුක්ත හැදරීමකිනි.  
මෙම ගැටලුවෙන් ගොඩ ඒමට මාක්ස් ආලෝකයක් සපයන්නේ ද? මාක්ස් ගේ දේශපාලන රචනා පුරා දිවෙන මාක්ස් ගේ විධි ක්‍රමය පිළිබද සටහන් මෙන්ම වැටුප් ශ්‍රමය පිළිබද තැනින් තැන විසිර ඇති සටහන් ද එවන් ආලෝකයක් සපයයි. Grundrisse හි මුදල් පිළිබද විශ්ලේෂණය තුල වැටුප් ශ්‍රමය සහ මුදල් අතර සම්බන්ධය මාක්ස් සලකා බලයි. මුදල් මාක්ස් දකින්නේ කෑදරකෑමේ විෂයක් නැත්නම් අරමුණක් හැටියටය. අනෙක් වස්තුන් සදහා ඇති කෑදරකමෙන්, මුදල් පිළිබද කෑදරකම වෙනස් ය. “මුදල් කෑදරකමේ අරමුණ පමණක් නොව එහි උල්පතද වන්නේ ය” (222 පිටුව). මෙම කෑදරකම මාක්ස් දකින්නේ ස්වාභාවික දෙයක් ලෙස නොව සමාජ සංවර්ධනයේ නිශ්චිත වර්ධනයක ප්‍රතිපලයක් ලෙස ය. ඒ සදහා ධනයේ  පොදු ස්වභාවයක් පැවතිය යුතුය. එම පොදු ස්වභාවය මුදල් ය. සමාජ සංවර්ධනයේ නිශ්චිත වර්ධනය සලකුණු කෙරෙන්නේ ශ්‍රමය මුදල් -පොදු ධනය- නිර්මාණයට යොමු වූ සමාජයක ය. මෙහිදී මාක්ස් ට අනුව වැටුප් ශ්‍රමය යනු පොදු ධනය එනම් මුදල් අරමුණු කරගෙන යොදවන ශ්‍රමය ය (එම 224 පිටුව). මාක්ස් පෙන්වා දෙන්නේ මුදල් වල සම්ප්‍රාප්තිය සමග පුරවා ධනේශ්වර සමාජ විසිර යාමට තිබු ඉඩකඩ වැඩි වුවද වැටුප් ශ්‍රමය සහ පොදු ධනය ලෙස මුදල් වල සම්ප්‍රාප්තිය ආර්ථික වර්ධනයට හේතු වූ බව ය. මෙතනදී වැටුප් ශ්‍රමය මාක්ස් තෙරුම්කරන්නේ අප මුලින් සාකච්ඡාවට ගත් රුපික නිර්වචන හරහා නොවේ.
ශ්‍රමය වැටුප් ශ්‍රමය බවට පත්වන්නේ කෙසේ ද? කුමන තත්ත්වයන් යටතේ ද? Grundrisse හි ප්‍රාග්ධනය පිළිබද පරිච්චේදහි මාක්ස් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයයි. මුදල් ප්‍රාග්ධනය බවට පත්වන ක්‍රියාවලිය සමගම “ශ්‍රමය, ප්‍රාග්ධන උපග්‍රහණය කරන සහ ප්‍රාග්ධන නිර්මාණය කරන ශ්‍රමය එනම් වැටුප් ශ්‍රමය” බවට පත්විණ (463 පිටුව). වැටුප් ශ්‍රමය, ප්‍රාග්ධන උපග්‍රහණය කරන සහ ප්‍රාග්ධන නිර්මාණය කරන ශ්‍රමය ලෙස නිර්වචනය කිරීම “ඉතාමත් දැඩි ආර්ථික තේරුමෙන්” කෙරුණකි. මෙහිදී හේ වැටුප් ශ්‍රමය තීරණය කරන්නේ ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය ඇතුලත එය පිහිටවමිනි. අප නැවත අපේ උදාහරණ වෙත හැරුනොත් පහත සදහන් නිගමනයට එළඹිය හැක.
පලවෙනි සටහන

ක්‍රියාවලිය
වැටුප් ශ්‍රමිකයෙක් ද?
හේතු
1
පැලවත්ත සීනි කම්හලේ නිෂ්පාදනයට අවශ්‍ය උක් වගාවේදී කොන්ත්‍රාත් ශ්‍රමය


ඔව්

ප්‍රාග්ධන නිර්මාණය කරන ශ්‍රමය
2
බාටා සමාගමට නිවාසගත නිෂ්පාදනය

ඔව්
ප්‍රාග්ධන නිර්මාණය කරන ශ්‍රමය
3
ගෘහ සේවිකාව

නැත
වැටුප් ලැබුවද ප්‍රාග්ධන නිර්මාණය කරන ශ්‍රමයක් නොවේ

සුළු පරිමාන නිෂ්පාදකයා, “වැටුප් ශ්‍රමිකයෙකු” බවට පත් නොවී නිර්ධනීයකරණයට පත් වීම පිළිබද අගනා සහ විචිත්‍ර මාක්ස්වාදී විග්‍රහයක් ඉන්දීය මාක්ස්වාදියෙකු වූ ජයිරුස් බනාජි 1850- 1890 අතර ඩෙකාන් මිටියාවතේ ග්‍රාමීය සමාජයේ විකාශනයන් ආශ්‍රයෙන් කර ඇත.

උක්ත සාකච්ඡාව මුලික වශයෙන් ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ ප්‍රයත්නය සිත්හි තබාගෙන කෙරුණකි. සුලු ධනේෂ්වර නැඹුරු වෙතින් නිර්ධන පංතික හැරවුමකට ගමන් ගැනීමේදී මෙම ප්‍රශ්නය සහේතුකව විසදා ගැන්ම බෙහෙවින්ම වැදගත් ය. නාගරික සහ ග්‍රාමීය නිර්ධන පංතීන් සමාජ පරිවර්තන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැන්මත් නිර්ධන පන්තිය වටා සහ සමග සමාජයේ පහත මාලය මෙන්ම විපන්තික කොටස් දිනාගන්ම ද අද අත්‍යවශ්‍ය දවසේ කාර්යය බවට පත්ව ඇත. පහුගිය වසර තිස් පහක කාලය නිර්ධන පංතික සටන් සහ සහභාගිත්වය මන්දගාමී වූ කාල පරිච්චේදයකි. 1980 වැඩ වර්ජනය පරාජයවීම සමග නිර්ධන පංතික අරගලයේ මෙම මන්දගාමී තත්වය පන්තිය පරම්පරාවක්ම නිරායුධ කිරීමට හේතුවිණ. වෙනත් ප්‍රශ්න පෙරට ගැනින. අද අපට නැවත නිර්ධන පංතික හැරවුමට කාලය ය. පරම්පරාවක හිදැස ලෙහෙසියෙන් පිරවිය නොහැක. විවිධ පන්නයේ සුළු ධනේශ්වර දේශපාලනයන් පරාජය කල හැකි වෙනත් කෙටි මගක් නැත.       

Comments

  1. Pretty section of content. I simply stumbled upon your site and in accession capital to say that I get actually loved to account your blog posts.
    Manpower Agencies in Chennai

    ReplyDelete

  2. تعد خدمات التنظيف المتعلقه بالمنزل بصفه عامه ان الامور الهامه حاليا لما لها من ترابط وثيق بالصحه والقضاء علي الامراض وخصيصا تنظيف الخزانات والتي تعد من الضروريات حيث يجب تنظيفها بصفه دوري
    تنظيف منازل بالخرج
    تنظيف خزانات بالخرج
    تنظيف مجالس بالخرج
    فان كنت عميلنا الكريم من الرياض او الخرج او جده فنحن نوفر لك افضل خدمات التنظيف العامه بمعدات حديثه وعماله مدربه



    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සදහා අරගලය


1, මෙම මාතෘකාවේ දැක්වෙන මූලික පද දෙක -කම්කරු පන්තිය සහ විප්ලවවාදී පක්ෂය- මුලින්ම පැහැදිලි කරගත යුතු ය. ධනේශවර සමාජයක් තුල විවිධ පන්තීන් සහ උප පන්තීන් දැකිය හැක. විප්ලවවාදී පක්ෂය කම්කරු පන්තියේ පක්ෂයක් විය යුත්තේ මන් ද? මෙම කරුණ තේරුම් කිරීමට නම් විප්ලවවාදි යන්නෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න පැහැදිලි කර ගැන්ම අවශ්‍ය ය. සමාජ විප්ලවයක් යනු පවතින සමාජ ක්‍රමයයක් වෙනස් කොට -රූපාන්තකරණය කොට- ඒ වෙනුවට වෙනත් මූලධර්ම මත ගොඩ නැගුන සමාජ ක්‍රමයයක් බිහි කිරීම ය. එය දිගුකාලින ක්‍රියා දාමයකි. මෙවන් රූපාන්තකරණයක් වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුල සිදුවීම ගැන අපි කියවා ඇත්තෙමු. අප අද කථාකරන සමාජ වෙනස මෙයට වඩා වෙනස් එකකි. වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුල අප දුටුවේ එක් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් වෙනුවට වෙනත් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් ඇති කිරීම ය. අද අප අරගල කරන්නේ පෙෳද්ගලික දේපොල ක්‍රමයම නැති කරන සමාජ විප්ලවයක් සදහා ය. මෙය පරිපූර්ණ රූපාන්තකරණයක් ය. එක් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් තුල වෙනත් …
බිල්ලෝ සහ කන්‍යාවියෝ: මහජන පෙරමුණු වාදය යලි කරලියට
සුමනසිරි ලියනගේ


ෆෙබරවාරි 10 වෙනිදා පැවැත්වුන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් යහපාලන ආංඩුවේ සහභාගි දේශපාලන පක්ෂ දෙක පරාජයට පත්වීන. මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් ගණනාවක බහුතර බලය තහවුරු කර ගත්තේ ය. මේ සමග ඊලග ජනාධිපතිවරණයකදී සහ පාර්ලිමේන්තු මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කළ හැක්කේ 2015 ජනවාරි 8 වෙනිදා ගොනු කෙරුන බලවේග නැවතත් එක්කර ගැන්ම මගින් පමණක් ය යන අදහස කිහිප පොලක් ම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවක දී යහපාලන ආංඩුවේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක මෙම යෝජනාව කලේ ය. 2015 ජනවාරි 8 වෙනිදා බලවේගයේ සිවිල් සමාජකාරකයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  මුහුණු පොතේ සටහනකින් මෙයට සමාන අදහසක් දැක්විය. විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉදිරිපත් කළ අදහස ද මෙයට ම සමාන එකක් විය. මෙම යෝජනාව ගැන තම අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේ 2015 ජනවාරි 8 වෙනිදා බලවේගය නැවත ගොනු කිරීම ක…