Skip to main content





බිල්ලෝ සහ කන්‍යාවියෝ:
මහජන පෙරමුණු වාදය යලි කරලියට

සුමනසිරි ලියනගේ



ෆෙබරවාරි 10 වෙනිදා පැවැත්වුන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් යහපාලන ආංඩුවේ සහභාගි දේශපාලන පක්ෂ දෙක පරාජයට පත්වීන. මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් ගණනාවක බහුතර බලය තහවුරු කර ගත්තේ ය. මේ සමග ඊලග ජනාධිපතිවරණයකදී සහ පාර්ලිමේන්තු මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කළ හැක්කේ 2015 ජනවාරි 8 වෙනිදා ගොනු කෙරුන බලවේග නැවතත් එක්කර ගැන්ම මගින් පමණක් ය යන අදහස කිහිප පොලක් ම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවක දී යහපාලන ආංඩුවේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක මෙම යෝජනාව කලේ ය. 2015 ජනවාරි 8 වෙනිදා බලවේගයේ සිවිල් සමාජකාරකයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  මුහුණු පොතේ සටහනකින් මෙයට සමාන අදහසක් දැක්විය. විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉදිරිපත් කළ අදහස ද මෙයට ම සමාන එකක් විය. මෙම යෝජනාව ගැන තම අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේ 2015 ජනවාරි 8 වෙනිදා බලවේගය නැවත ගොනු කිරීම කිසිසේත්ම යලි නොකළ හැක්කක් බව ය. 

2015 ජනවාරි 8 වෙනිදා ගොනු කෙරුන බලවේග නැවතත් එක්කර ගැන්ම පිලිබද මෙම යෝජනාව කිසියම් ප්‍රමාණයක ආකර්ශණයක් ඇත්තක් බව සැබෑ ය. එය බැලූ බැල්මට කිසියම් සුජාතබවක් ඇත්තක් ලෙස ද පෙනී යා හැක. එම යෝජනාව පිටුපස ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ද සිටින බව ද තොරතුරු මගින් හෙලි වන්නේ ය. එමනිසා එම යෝජනාවේ සැබෑ ඇගවීම් මෙරට සමාජ පහතමාලයේ ජනතාව බැරෑරුම් ලෙස සාකච්ඡා කළ යුතු වේ. මෙතනදී ජාත්‍යන්තර සහ ජාතික අත්දැකීම් අපට කියාදෙන පාඩම් කවරේ ද? විමුක්තිවාදී පක්ෂයකට පෙරමුණුගතවීමේ ප්‍රශ්නයක් පැන නගින්නේ මන් ද? එවන් පක්ෂයක් සහභාගිවිය යුත්තේ කුමන පෙරමුණුවලට ද? කුමන පෙරමුණුවලට සහභාගි වීමෙන් එය වැලකිය යුතු ද? මෙම කරුණ තීරනාත්මක වන්නේ 1964 සිට පහුගිය වසර 53 තුලම මෙරට වමේ හැම පක්ෂයක්ම කටයුතුකර ඇත්තේ කිසියම් වර්ගයක පෙරමුණු දෙශපාලනය තුල වීම නිසාත්, එම දේශපාලනය වම දුර්වල කොට විනාශයකරා යාමට මං විවරකර මත ඇති නිසාත් ය. මෙම ලිපිය මගින් මා තැත් කරන්නේ පෙරමුණුවාදය ගැන තරමක් විස්තරාත්මකව සහ සරලව සාකච්ඡා කිරීමට ය. 

1. විමුක්තිවාදී පක්ෂයකට පෙරමුණුගතවීමට සිදුවන්නේ මන් ද?

මුලින්ම මෙම සරල පැනයට පිලිතුරක් සොයාගමු. විමුක්තිවාදී පක්ෂයක් විසින් ගෙනයනු ලබන විමුක්තිවාදී අරගලය කුමන්ත්‍රණයක් නොවේ. එය සමාජ පහල තට්ටුවේ පුලුල්ම ජනතා සහභාගිත්වයකින් කෙරෙන ජන නැගිටීමක ප්‍රතිඵලයකි.  විමුක්තිවාදී පක්ෂය කුඩානම් එය වටා සංවිධානය වී සිටින්නේ වැඩකරන ජනතාවගෙන් සුලුතරයක් පමණක් නම් එයට එවන් නැගිටීමකට නායකත්වය දිය නො හැක. මක්නිසා ද? වැඩකරන ජනතාවගෙන් බහුතරය වෙනත් පක්ෂ සහ සංවිධාන වටා ගොනුව සිටීනම් සහ එකී පක්ෂ සහ සංවිධාන විමුක්තිවාදී අරගලය වෙනුවෙන් සත්‍ය වශයෙන් පෙනී නොසිටින්නේ නම් විප්ලවවාදී විමුක්තිවාදී පක්ෂයට එම ජනකොටස් ක්‍රමානුකූලව විමුක්තිවාදී අරගලය සදහා දිනා ගැන්මට සිදුවන්නේ ය. බහුතර ජනතාව තම නායකයන්ගේ නියම හැඩරුව දැනගන්නේ ඔවුනගේ ක්‍රියාකාරිත්වය පිලිබද තම අත්දැකීම් තුලිනි. ඔව්හු ඉක්මනින් තම විශ්වාසයන් සහ ඇගෑලුම්කම් වෙනස් නොකරති. විප්ලවවාදී විමුක්තිවාදී පක්ෂයට එවන් පක්ෂ සමග එක්ව ගමන් ගැන්මට වන්නේ ඒ හරහා පමණක් එම ජන කොටස්වලට ආමන්ත්‍රණය කළ හැකි හෙයිනි. 

මෙම කරුණ උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු. 1917 පෙබරවාරියේ රුසියාවේ විප්ලවය පුපුරා ගොස් සාර් අධිරාජයාට බලයෙන් ඉවත් වීමට බලකෙරුන විප්ලවය සිදුවන විට බෝල්ශේවික් පක්ෂය කුඩා එකකි. පෙට්රොග්‍රෑඩ් නගරයේ වැඩකරන ජනතාවට සහ සොල්දාදුවනට අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍ර පාලනයක් ඇති කිරීම ය. ඔව්හු බෝල්ශේවික් පක්ෂයෙන් පිට පක්ෂ ගැන වැඩි විශ්වාසයක් තැබූහ. පෙබරවාරියේ ඇතිවූ ආංඩුව හවුල් ආංඩුවක් විය. බෝල්ශේවික් පක්ෂය හැර අනෙක් වැඩකරන ජනතාව නියෝජනය කළ වාමාංශික පක්ෂ, ධනේශවර පක්ෂ සමග හවුල් ආංඩුවේ එක්ව ක්‍රියා කලහ. බහුතර ජනතාව එම ක්‍රියා පිලිවෙතෙහි වරදක් නොදුටුවෝ ය. බෝල්ශේවික් පක්ෂයේ සමහරෙක් ද එහි වරදක් නො දුටුවේ ය. රුසියානු ප්‍රශ්න විසදීමට නම් කම්කරු ගොවි ආංඩුවක් අවශ්‍යබව ලෙනින් කල්තියා තේරුම් ගත්ත ද එවැන්නක් එසැනින් ගොඩ නැගිය හැක්කක් නොවන බව ද හේ තේරුම් ගත්තේ ය. හවුල් ආංඩුවට එක්වීම තරයේ ප්‍රතික්ෂේප කළ ලෙනින් කම්කරු ගොවි සහ සොල්දාදු සටන් සභා ලෙස ගොඩ නැගුන සෝවියට් සභාවල දී අනෙක් පක්ෂ සමග එක්ව එක පෙරමුණක ක්‍රියා කලහ. අප්‍රියෙල් මැයි මාස වනවිට කම්කරුවෝ ගොවිහු සහ සොල්දාදුවෝ හවුල් ආංඩුවේ නොහැකියාවන් සහ සීමා තම අනුභූතියෙන තේරුම් ගත්හ. වඩ වඩා බෝල්ශේවික් පක්ෂ ස්ථාවරයට ආසන්න වූහ. ජුලි, අගෝස්තු වන විට තත්ත්වය බෝල්ශේවික් පක්ෂයට වාසිදායක වන ලෙස තවදුරටත් වෙනස් විය. නගරයන්හි සෝවියට් සභාවල වැඩි බලය බෝල්ශේවික් පක්ෂයට මාරුවින. ඔක්තෝබරය වනවිට රුසියානු සමාජයේ පහල තට්ටුව හුස්ම ගත්තේ ද බෝල්ශේවික් පක්ෂය අනුව යමිනි. ෆෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුල බෝල්ශේවික් පක්ෂය ක්‍රියාකළ ආකාරය පෙරමුණු ගැසිය යුත්තේ කා සමග ද පෙරමුණු නො ගැසිය යුත්තේ කා සමග ද යන පෙරමුණුවාදයේ හැම ප්‍රශ්නයකටම නිසි පිලිතුරු සපයන්නේ ය. 

විප්ලවවාදී විමුක්තිවාදී පක්ෂයට සමාජ පහල තට්ටුවේ බහුතරය තමාවටා ගොනු කර ගැන්ම සදහා “යකා සමග නොව යකාගේ ආච්චි සමග” වුව පෙරමුණු ගැසීමෙහි වරදක් නැත. එසේ වුව ද ඉතිහාසය පෙන්වන්නේ බොහෝවිට විමුක්තිවාදී පක්ෂ, පෙරමුණුගත වීම හරහා විනාශයක් අත්කරගත් බවකි. යකාට නොව අප යකාගේ පොඩි පුතාටත් බිලිවීමේ අත්දැකීම් ය ඉතිහාසය විසින් පෙන්වනු ලබන්නේ. පෙරමුණුවාදය සංකීර්ණ විෂයයකි. එම විද්‍යාව සහ කලාව නිසි පරිදි ග්‍රහණය කර ගෙන පෙරමුණු පිලිවෙත ක්‍රියාවට නොදැමවුවහොත් විප්ලවවාදී විමුක්තිවාදී පක්ෂයට පමණක් නොව වැඩකරන ජනතාවට ද මගත් විනාශයකට මුහුණ දෙන්නට වූ බව ජාත්‍යන්තර අත්දැකීම් මනාව පෙන්වා දෙයි. 

2. දෙවර්ගයක පෙරමුණු

අප කලින් සාකච්ඡාකල රුසියානු විප්ලවයේ අත්දැකීම තුලින් දෙ ආකාරයක පෙරමුණු ගැන යම් අදහසක් ලබාගත හැක. පසුකාලීන විප්ලවවාදි සාහිත්‍යයේ මෙම පෙරමුණු දෙවර්ගය මහජන හෝ ජනප්‍රිය පෙරමුණු (peoples’ fronts or popular fronts) සහ එක්සත් පෙරමුණු  (united fronts) ලෙස හැදින්වේ. අපි මුලින්ම මහජන හෝ ජනප්‍රිය පෙරමුණු යන නමින් හැදින්වෙන පෙරමුණු හදුනා ගනිමු. මෙම අදහස ඉදිරිපත් කෙරෙන්නේ 1930 ගනන්වල තුන්වෙනි ජාත්‍යන්තරයේ න්‍යායාචර්යවරයෙකු වූ ශැඩ්නොව් විසිනි. එය ඊට පෙර තුන්වන ජාත්‍යන්තරයේ පක්ෂවලට යෝජනා කළ ප්‍රතිපත්තියට විකල්පයක් ලෙස ඉදිරිපත් කෙරිණ. කොමියුනිස්ට් ජාත්‍යන්තරයට අනුව 1928 න් ඇරඹෙන්නේ ධනේශ්වර අවධියේ අවසාන අවධිය ය. එම අදියර “තුන්වෙනි සමය” (thrid period) ලෙස හැදින්වින. එම අවධිය අවසනවනවිට සමාජවාදි ජයග්‍රහණය සිදුවේ. මේ අනුව මේ කාලය තුල කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පක්ෂවලට යෝජනා කෙරුනේ අතිවාමවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස ය. සෝවියට් රුසියාව තුල ගොවි ජනතාව බලහත්කාරයෙන් සාමුහිකකරණයට ඇද දැමුවේ මෙම අවධියේ ය. මේ අවස්ථාව වනවිට ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ නැගීම පැහැදිලිව සනිටුහන් කෙරින. හිට්ලර්ගේ ෆැසිස්ට් අනතුරට මුහුණදීම සදහා ජර්මන් කොමියුනිස්ට් පක්ෂය වඩා විශාල ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පෙරමුණකට ගොස් ෆැසිස්ට් විරෝධි යුද කාණඩ සහිත අරගලයක් දියත් කළ යුතු යැයි ලියොන් ට්‍රොට්ස්කි යෝජනා කළේ ය. මෙම පක්ෂ දෙකම කම්කරු පන්තිය පදනම් කරගත් පක්ෂ ය. “තුන්වෙනි සමයේ” අතිවාමවාදී ප්‍රතිපත්ති අනුව යමින් කොමියුනිස්ට් ජාත්‍යන්තරය මෙම සටන් උපක්‍රමය ප්‍රතික්ශේප කළේ ය. තුන්වෙනි ජාත්‍යන්තරයේ තර්කය සැකෙවින් මෙසේ ය. “ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රතිගාමි එකකි. එම පක්ෂය සහ ෆැසිස්ට්වාදීන් අතර වෙනසක් නැත. එය සමාජ ෆැසිස්ට්වාදී පක්ෂයකි. ඒ නිසා එවන් පක්ෂයක් සමග එක පෙරමුණකට ඒමට විප්ලවවාදිනට නො හැක.”  ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රතිගාමි පක්ෂයක් බව ට්‍රොට්ස්කි පිලි ගත්තේ ය. එසේ වුවද ඔහු තර්ක කළේ තවමත් පසුගාමී කම්කරු පංතිය එම පක්ෂය සමග ගමන් කරන බවත් එහි නායකයනට කන්දෙන බවත් ය. කම්කරු පංතිය එම නායකත්වයෙන් ගලවා ගැන්ම කම්කරු පංතිය තම අනුභුතියෙන් ලබන අධ්‍යාපනය හරහා පමණක් කළ හැකිවේ.  ජර්මන් කොමියුනිස්ට් පක්ෂයට සහ ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අයත් කම්කරුවන් එක පෙරමුණක සිට ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම මගින් පමණක් ෆැසිස්ට්වාදය පරාජය කළ හැක. එම සටනේදී සටනට කකුල් මාට්ටු දමන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයන් ගේ සැබෑ පැහැය කම්කරුවනට තේරුම්ගත හැකිවෙනු ඇත. ජර්මන් කොමියුනිස්ට් පක්ෂය,  ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්සත් පෙරමුණකට ඒම තුන්වෙනි ජාත්‍යන්තරයේ නායකත්වය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ එකද වෙඩි උණ්ඩයකුදු පත්තු නොකර ෆැසිස්ට්වාදිනට බලයට ඒමට අවකාශය සැලසීම ය. 

තුන්වෙනි ජාත්‍යන්තරයේ නායකත්වය 1934 දී මෙම අතිවාමවාදී ප්‍රතිපත්තිය විසිකර දැම්මේ ය. ශැඩ්නොව් විසින් මහජන හෝ ජනප්‍රිය පෙරමුණුවාදය හදුන්වා දුන්නේ එකී අතිවාමවාදී ප්‍රතිපත්තියට විකල්පයක් ලෙස ය. එය ඇත්තටම අංශක 180 කරනමක් විය. ඊනියා ප්‍රගතිශිලි ධනේශ්වර පක්ෂ සමග පෙරමුණුගතවීම  මහජන හෝ ජනප්‍රිය පෙරමුණුවාදය විසින් අනුමත කෙරිණ. මෙම ප්‍රතිපත්තිය යටත්විජිත රටවල දී අදියර දෙකේ විප්ලවය පිලිබද න්‍යාය සමග සම්බන්ධ කෙරින. අදියර දෙකේ විප්ලවය පිලිබද න්‍යාය මගින් අදහස් කෙරෙන්නේ අර්ධ සංවර්ධිත සහ යටත්විජිත රටවල නිර්ධන පංතික විප්ලවය අදියර දෙකකින් සිදුවන බව ය. පළමුවෙනි අදියරේදී සිදුවන්නේ තවමත් නිම නොවූ ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් සම්පූර්ණ කිරීම ය. ජාතික ස්වාධිනත්වය, කෘෂිකර්ම ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නය, රජය ප්‍රජාතන්ත්‍රකරීම වැනි මෙම කර්තව්‍යයන් සම්පූර්ණ කර ගැන්මේ දී වැඩකරන ජනතාවට එම රටවල ජාතික ධනේශ්වර පංතිය සමග එක් පෙරමුණකට පැමිණ කොම්ප්‍රදෝරු ධනපති පංතියට එරෙහිව සටන් කළ හැක. දෙවන අදියරේදී එනම් ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා වර්ධනය වූ පසු වැඩකරන ජනතාවට ජාතික ධනේශ්වර පංතිය පලවා හැර රාජ්‍යබලය ඩැහැගත හැකිවේ.  මහජන හෝ ජනප්‍රිය පෙරමුණුවාදයට අනුව පළමුවෙනි අදියරේදී අනුගමනය කළ යුතු උපාය මාර්ගය වන්නේ ජාතික ධනේශ්වරය සමග පෙරමුණුගතව පොදු සතුරාට පහර දීම ය. 

එක්සත් පෙරමුණ මහජන හෝ ජනප්‍රිය පෙරමුණකින් වෙනස් වන මූලිකම චරිතාංගය වන්නේ එක්සත් පෙරමුණ සමාජ පහල තට්ටුව නියෝජනය කරන පක්ෂවල පෙරමුණක් වීම ය. එය මහජන පෙරමුණකින් වෙනස්වන ආකාරය ට්‍රොට්ස්කි මෙසේ විස්තර කරයි. 

මහජන පෙරමුණ පිළිබද න්‍යායාචාර්යවරු අංක ගණිතයේ පළමු නියමයෙන්, එනම්, එකතු කිරීමෙන්  ඔබ්බට අවශ්‍යයෙන්ම නො යති. කොමියුනිස්ට්වාදින් එකතු කිරීම සමාජවාදීන් එකතු කිරීම අරාජකවාදීන් එකතු කිරීම, ලිබරල්වාදීන් එකතු කිරීම, පිළිවෙලින් ඒවායේ තනි තනි සංඛ්‍යාවන් ගත් විට වනවාට වඩා විශාල මුලු සංඛ්‍යාවක් වන්නේ ය. ඔවුන්ගේ සකල ඥානය එවන් වේ. එසේ ද වුව, මෙහි දී අංක ගණිතය පමණක් නො සෑහේ. යමෙකුට අවම වශයෙන් යාන්ත්‍රික විද්‍යාව ද අවැසි වේ. බලවේගයන් පිළිබද සමන්තරාශ්‍ර නියාමය දේශපාලනයට ද අදාළ වේ. එවන් සමචතුරශයක අඩංගු බලවේගයන් එකිනෙකින් වඩාත් විහිද යයි ද, බලවේගයන්හි ප්‍රතිඵලය වඩා කෙටි ය. දේශපාලන මිතුරන්, විරුද්ධවාදී දිසාවන්ට ඇදීමට යොමු වූ විට බලවේගයන්හි ප්‍රතිඵලය බින්දුවට සමාන විය හැක. (ස්පාඤ්ඤ විප්ලවයේ පාඩම්, පරිවර්තනය තුල්සිරි අන්ද්‍රාදි)

මෙම කරුණ අපට සටහනක් මගින් පැහැදිලි කළ හැක. පළමු වෙනි සටහනෙන් පෙන්වන්නේ එකිනෙකට හාත්පසින් වෙනස් දිසාවනට ඇදෙන බලවේගයන් දෙකකි. රතු පාට ඊතලයෙන් දැක්වෙන්නේ වැඩකරන ජනතාවගේ බලවේගය යැයි සිතමු. කොල පාට  ඊතලයෙන් දැක්වෙන්නේ ධනේශ්වර පංතියේ බලවේගයක් යැයි සිතමු. මෙම බලවේග දෙක එකතුවීමේ ඓක්‍යය ශූන්‍යයට සමාන වේ. එසේ වන්නේ විශේෂයෙන්ම කම්කරු පන්තියට ය. 


1 වෙනි සටහන

  




දෙවෙනි සටහනෙන් පෙන්වන්නේ එකම අතකට නො වුව ද එකිනෙකට හාත්පසින් විරුද්ධ අතට ගමන් නොගන්නා බලවේගයන් හි එකතුවය. එවන් බලවේගයන් දෙකක් එකතු වූ විට උත්තරය බීංදුව නොවේ. එහි රතු පාට ඊතලයෙන් දැක්වෙන්නේ විමුක්තිවාදි වැඩකරන ජනතාවගේ බලවේගය යැයි සිතමු. කහ පාට  ඊතලයෙන් දැක්වෙන්නේ වැඩකරන ජනතාවගේ සංශෝධනවාදී බලවේගයක් යැයි සිතමු. එවන් බලවේග දෙකක් එකතු වී විට ලැබෙන ප්‍රතිඵලය විමුක්තිවාදි වැඩකරන ජනතාවගේ බලවේගය බලාපොරොත්තු වන දෙයම නො වුන ද එම ප්‍රතිඵලය ශූන්‍ය ප්‍රතිඵලයක් නොව අලුපාට ඊතලයෙන් දැක්වෙන ප්‍රතිඵලය වේ. 









2 වෙනි සටහන



  





















මෙම කරුණ ලියොන් ට්‍රොට්ස්කි තවදුරටත් පෙර දැක්වූ සටහනේදී මෙසේ පැහැදිළි කරයි. 

කම්කරු පංතියේ වෙනස් දේශපාලන කණ්ඩායම්වල පෙරමුණක් පොදු ප්‍රායෝගික ගැටලු විසදීමෙහි ලා සමහරවිට මුලුමනින්ම නැතිවම බැරි වන්නේ ය. යම් යම් ඓතිහාසික තත්ත්වයන්හිදී නිර්ධන පංතියේ අවශ්‍යතාවයන්ට සමීප වන්නාවූ පීඩිත සුලු ධනේශ්වර ජනතාවන් ඈද ගැනීමෙහිලා එවන් පෙරමුණකට හැකි වන්නේ ය. එවන් පෙරමුණක ඒකාබද්ධ බලවේගයන්, එහි අඩංගු කොටස්වල තනි තනි බලවේගයන්ට වඩා වැඩියෙන් සවි බලවත් බව සනාඪ කළ හැකි ය. ඊට පටහැනි ලෙස, වර්තමාන යුගයේදී මූලික ප්‍රශ්න පිලිබදව අංශක 180ක් වෙනස් වන්නාවූ නිර්ධන පංතියේ සහ ධනේශ්වර පංතියේ දේශපාලන සන්ධානයකට, පොදු රීතියක් වශයෙන් ම කළ හැකි වනුයේ නිර්ධන පංතියේ විප්ලවවාදී බලය අක්‍රීය කිරීම පමණි. (එම)

3. මහජන පෙරමුණු ඇතිකළ විනාශයන්

මහජන පෙරමුණු ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගීම හේතුකොට ගෙන ඇති වූ ව්‍යසනයන් කම්කරු පංති ඉතිහාසයේ ලිය වී ඇත්තේ ලෙයිනි. මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ හැකි නිදසුන් කිහිපයකි. 1930 ගනන් මැද මහජන පෙරමුණු ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගීමෙහි ප්‍රතිඵලය වූයේ ශක්තිමත් ජන සහායක් සහ ජාත්‍යන්තර සහයෝගයක් තිබූනද, ස්පාඤ්ඤ විප්ලවය ෆ්‍රැන්කෝ ගේ ෆැසිස්ට් බලයට යටත්ව පරාජය වීම ය. එම පරාජයෙන් නැවත ගොඩ ඒමට ස්පාඤ්ඤයට දශක ගණනාවක් බලා සිටින්නට සිදුවිය. 

ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය මෙම කලාපයේ තිබූ විශාලම කොමියුනිස්ට් පක්ෂය විය. එය ඉන්දුනීසියානු ජාතික ධනේශ්වර බලවේගය වූ සුකර්ණෝ ගේ පක්ෂය සමග පෙරමුණුගත වූයේ සුකර්ණෝ ගේ රජය එම අවධියේ එනම් 1960 ගනන්වල, අනෙකුත් අලුතින් නිදහස ලද රාජ්‍යයයන්හි ශක්තිමත්ව මතුවූ ජනතාවාදී බලවේග මෙන්ම විවිධ ප්‍රගතිශීලී සහ අධිරාජ්‍ය විරෝධි පියවර රාශියක් ගනු ලැබුවේ ය. සුකර්ණෝ ගේ රජය, නසාර් ගේ ඊජිප්තුව, සදාම්ගේ ඉරාකය, ඉන්දිරා ගාන්ධිගේ ඉන්දියාව සහ සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ ශ්‍රී ලංකාව මෙන් කිසියම් ප්‍රමාණයකට අධිරාජ්‍යවාදය සමග ගැටින. කම්කරු පංතියේ ස්වාධීන ශක්තිය මත පදනම් වෙමින් අනෙක් පීඩිත ජන කොටස් සංවිධානය කොට ගොනු කරනු වෙනුවට ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය කළේ සුකර්ණෝ ගේ රජය පිලිබද අහේතුක විශ්වාසයක් සහ බලාපොරොත්තු එම ජන කොටස තුල ඇති කිරීම ය. මෙහි ප්‍රතිඵලය වූයේ ට්‍රොට්ස්කි ස්පාඤ්ඤ විප්ලවවාදිනට අනතුරු ඇගවූ විධියටම “නිර්ධන පංතියේ විප්ලවවාදී බලය අක්‍රීය කිරීම පමණි”.  නිර්ධන පංතියේ විප්ලවවාදී බලය අක්‍රීය කිරීම සමග ප්‍රතිගාමිත්වය හිස එසවී ය. සුහර්තෝ ගේ මිලිටරි ප්‍රහාරය මගින් සුකර්ණෝ රජය පලවා හැරියා පමණක් නොව ඉන්දුනීසියානු කොමියුනිස්ට්වරුනගේ ලෙයින් ඉන්දුනීසියානු ගංගාජලය රක්තවර්ණ කෙරින. 

4. 1964 ලංකා සමසමාජ පක්ෂය එක්සත් පෙරමුණුවාදයෙන් මහජන පෙරමුණුවාදයට

එක්සත් පෙරමුණුවාදය සහ මහජන පෙරමුණුවාදය අතර ශ්‍රී ලංකා විවාදය තරමක ඇතකට දිවෙන්නකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සෝවියට් පිලිවෙත අනුව යමින් හැමවිටකම වාගේ පෙනී සිටියේ ජාතික ධනේශ්වරය සමග අටවා ගන්නා මහජන පෙරමුණක් සදහා ය. එක්සත් ජාතික පක්ෂයෙන් බිදී 1951 එස් ඩබ්ලිව් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හදුන්වා දුන්නේ කොම්ප්‍රදෝරු එක්සත් ජාතික පක්ෂයට එරෙහි ප්‍රගතිශීලි ජාතික ධනේශ්වරයේ පක්ෂයක් ලෙස ය. කම්කරු පන්තිය ඒ හා එක්ව ගමන් කළ යුතු බවට යෝජනා කෙරින. එසේ වුව ද වමේ බලගතු පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය මහජන පෙරමුණුවාදයට හරස්ව සිටි හෙයින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට තම යෝජනා ක්‍රියාවට දැමිය නොහැකි විය. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ව්‍යක්ත ලෙස මහජන පෙරමුණුවාදී තර්ක සුණු විසුණු කර දැම්මේ ය. එසේ වුව ද 1960 ගනන්වල මුල් භාගය වනවිට ලංකා සමසමාජ පක්ෂය තුල ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිලිබද ඇස්තමේන්තුවේ වෙනසක් ඇතිවින. මෙම න්‍යායාත්මක වෙනසේ නායකත්වය ගත්තේ හෙක්ටර් අභයවර්ධන ය. ඔහුගේ තර්කය සැකෙවින් මෙසේ ය. “සමාජවාදය කරා යන ගමනේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 1960 ගනන්වල ගත් ක්‍රියාමාර්ග ධනාත්මක ප්‍රතිඵල ඇති කර ඇති හෙයින් පුලුල් මහජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ප්‍රගතිශිලි බලවේගයක් ලෙස දකියි. එය වමේ කොටසකි. ඒ සමග පෙරමුණුගත වීම නව තත්ත්වය තුල සමාජවාදය කරා ගමනට ආධාරයකි.” මෙම තර්කය සමග ලංකා සමසමාජ පක්ෂයේ ජනප්‍රිය නායකයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා අනුගත වීමෙහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සහභාගී ආංඩුවකට යාමට ලංකා සමසමාජ පක්ෂය 1964 දී බහුතර ඡන්දයෙන් තීරණය කිරීම ය. 

වසර 53 කට පෙර ගනු ලැබූ මෙම තීරණයේ සාවද්‍යබව 1975 දී ආචාර්ය එන්. එම්. පෙරේරා තේරුම් ගත්තේ ය. එහෙත් ඒ වනවිට හවුල් ආංඩු දේශපාලනය  නිසා “නිර්ධන පංතියේ විප්ලවවාදී බලය අක්‍රීය කිරීම” ධනේශ්වරයේ පැවැත්මට ප්‍රමාණවත් තරමින් සිදු වී තිබින. පන්තියේ ශක්තිමත් බලවේගය හැටියට තිබූ සමසමාජ බලවේගය හවුල් ආංඩු අත්දැකීම නිසා වැහැරී ගොස් තිබින. 1977 මහා මැතිවරණයේ දී වම හෝදා පාලු වී ගියේ ය. 

5. 1964 ඛේදවාචකය සහ 1994 සහ 2014 විකට රංගනය

ඉතිහාසය පුනරුච්චාරනය වන්නේ යැ යි හේගල් කළ ප්‍රකාශය අනුමත කළ මාක්ස් පළමු වතාවේ දී ඛේදවාචකයක් ලෙසට සිදුවූ දෙය ඊලග වතාවේ දී විකට රංගනයක් ලෙස සිදුවන්නේ යැ යි සදහන් කළේ ය. ශ්‍රී ලංකාවේ වාම දේශපාලන ඉතිහාසයේ, 1964 ලියවෙන්නේ සැබෑ ඛේදවාචකයක් ලෙස ය. ඒ හේතු දෙකක් නිසා ය. පළමුවෙනුව, 1964 තීන්දුවෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වම මුහුණදුන් ව්‍යසනය ස්පාඤ්ඤයේ, ඉන්දුනීසියාවේ සහ චිලියේ මෙන් භෙෳතික වශයෙන් වාමාංශික ව්‍යාපාරය විනාශ වීමක් නොවුන ද, නෛතික වශයෙන් වමේ පැවැත්ම තහනම් නොකල ද, “නිර්ධන පංතියේ විප්ලවවාදී බලය අක්‍රීය කිරීම” අතින් ගත්විට බෙහෙවින් බරපතල විය. එය එකම හේතුව නො වුන ද පරම්පරා දෙකකට වමේ දේශපාලනය සහමුලින්ම එපා කරන්නක් විය. දෙවනුව, 1964 තීන්දුවට එරෙහිව මතු වූ වාම බලවේග එකකටවත් “නිර්ධන පංතියේ විප්ලවවාදී බලය”  සක්‍රීය කිරීමට ගතයුතු පියවර ගත නො හැකි විය. පශ්චාත් විකට රංගන හැම එකක්ම මෙම ඛේදවාචකයේ බරපතලකම හේතු කොටගෙන පැන නැගුන ඒවා ය. 

1975 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගය අවසන් කළ ද හවුල් ආංඩු දේශපාලනයෙන් බිදීමට සම්ප්‍රදායයික වමේ පක්ෂවලට නොහැකි විය. 1994 දි සම්ප්‍රදායයික වමේ පක්ෂ දෙකම නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගකට ඇතුල් විය. 2014 දී එයිනුත් ඔබ්බට ගොස් සම්ප්‍රදායයික වමේ පක්ෂ දෙකේම කොටස් එක්සත් ජාතික පක්ෂය සමග ද හවුලකට ගමන් ගත්තේ ය. කොම්ප්‍රදෝරු ධනපති පක්ෂය එක රාත්‍රියකින් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා බවට පත්වූයේ කෙසේ දැ යි පැහැදිළි කිරීමට එක පිටුවක සටහනක්වත් තැබීම අවශ්‍ය යැ යි ඔවුනට නො සිතුනා සේ ය.   

6. විකට රංගනය 5: අවසාන ජවනිකාව

මෙම සටහන ආරම්භයේ දී සදහන් කළ පරිදි රටේ ගැලවීම සහ අනාගත ඉරණම රදා පවතින්නේ යලිත් වරක් මෙම විකට රංගනයම රග දැක්වීමෙන් බව 2015 ජනවාරි 8 ව්‍යාපාරයේ කප්පිත්තන්ගේ මතය බව පෙනේ. එනම් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය + එක්සත් ජාතික පක්ෂය + දෙමල ජාති සන්ධානය + හෙළ උරුමය + ජනතා විමුක්ති පෙරමුණ + සමසමාජ (ජයම්පති පිල) + කොමියුනිස්ට් පක්ෂය (සුභසිංහ පිල) + සිවිල් ව්‍යාපාර යන්ගෙන් සැදුම් ලද එකතුවක අවශ්‍යබව ය. නැවත වතාවක් මෙම මහත්වරුනට කණගාටුවෙන් වුව ද කිව යුත්තේ ඔබ තවමත් දන්නේ අංක ගණිතයේ පළමුවෙනි නීතිය පමණක් බව ය. මහජන පෙරමුණක් ඇටවීමට සුජාතකරණය කිරීමට බොහෝවිට බිල්ලන් සහ කන්‍යාවියන් මවා පෙන්වීම අවශ්‍ය ය. එම බිල්ලන් රට අභ්‍යන්තරයේ සිටින්නන් විය හැක, නැත්නම් ජාත්‍යන්තර බිල්ලන් විය හැක. කන්‍යාවන් ගැන ද එය එසේ ම වේ. 2020 මහජන පෙරමුණ සදහා මැවෙන බිල්ලන් සහ කන්‍යාවන් ගැන යම් අදහසක් ලබා ගැන්ම වැදගත් ය. 

තවමත් බොහෝදෙනාගේ කල්පනාවට සහ ඇස්තමේන්තුවට අනුව, මෙරට දේශපාලනය භ්‍රමණය වන්නේ මහින්ද රාජපක්ෂ වටා ය. මෙම කල්පනාව සහ ඇස්තමේන්තුව නිසාම මෙරට දේශපාලනය මහින්ද රාජපක්ෂ භ්‍රමණය වීම වැලැක්වීම ද ප්‍රශ්නයකි. මහින්ද රාජපක්ෂ තවදුරටත් දේශපාලනයේ රදවා  ගනු ලැබුවේ ඔහුගේ අනුගාමිකයන් සහ ආධාරකරුවන් විසින් පමණක් නොව ඔහුගේ දේශපාලන විරුද්ධවාදින් ද විසිනි. මහින්ද රාජපක්ෂ නො මැතිව ඔවුනට දේශපාලන පැවැත්මක් නැත. එසේ වුව ද ආංඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයකට තවදුරටත් තරග කළ නොහේ. කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තබා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගතහොත් පමණි 19 වෙනි සංශෝධනය වෙනස් කළ හැක්කේ. එය තරමක අපහසු දෙයකි. එමනිසා “රිසව්” ජනපති අපේක්ෂකයෙකු ලෑස්තිකර තබාගත යුතු ය. ඇයට හෝ ඔහුට (බොහෝදුරට ඔහුට) මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය අප ඉංග්‍රිසියෙන් කියන කැරිස්මා එක තිබිය යුතු ය. සීංහල ජන කොටසට ආකර්ශණය විය යුතු ය. මහජන පෙරමුණක් ඇටවීමට වෙර දරන්නවුන් ගේ පැත්තෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂටත් වඩා ප්‍රමාණයෙන් කුඩා ජනකොටස් බියවැද්දිය හැකි ඊටත් වඩා අධිකාරවාදී සමහරවිට ෆැසිස්ට්වාදී ප්‍රවණතාවයන් ඇති “රිසව්” ජනපති අපේක්ෂකයෙකු විචිත්‍රණය කිරීම ඔවුනට අවශ්‍යම කරුණකි. එමෙන්ම ඔහු රාජපක්ෂ පවුලේ කෙනෙකු ද විය යුතු ය. මෙම මිනුම්දඩු වලට නිසි ලෙස ගැලපෙන “බිල්ලා” ගෝඨාභය රාජපක්ෂ ය. මෙම බිල්ලා අතින් දෙමල සහ මුස්ලිම් ජන සංහාරයක් සිදුවිය හැකි ය. සීංහල බෙෳද්ධ නොවන්නවුන් බලයෙන් බෙෳද්ධාගමට හරවා ගැනීමක් විය හැකි ය. ඕනෑම ගැටුමකදී හමුදාව යොදවා එය සමූල ඝාතනය කොට මර්ධනය කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ “බිල්ලා” විචිත්‍රණය කරන්නවුන් නොකියන දෙයක් ඇත. එනම් ගෝඨාභය රාජපක්ෂ නවලිබරල් ආර්ථික පිලිවෙත් තවදුරටත් වේගවත්ව පෙරට ගෙන යාමට ලොකු සම්බාවතාවයක් ඇති බව ය. ඒ “බිල්ලා” විචිත්‍රණය කරන්නවුනට නවලිබරල් ආර්ථික පිලිවෙත් ප්‍රශ්ණයක් නොවන නිසා ය. 

මහජන පෙරමුණක් ඇටවීමට වෙර දරන්නවුන්ට මුහුණ දෙන්න වෙන බරපතල ප්‍රශ්නය “බිල්ලා” විචිත්‍රණය කිරීම නොවේ. 2005- 2015 දක්වා කාලයේ සිදු වූ දේ ඇසුරෙන් එය පහසු කාර්යයකි. එහෙත්, මෙම ලැයිස්තුවේ පිරිස් -මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය + එක්සත් ජාතික පක්ෂය + දෙමල ජාති සන්ධානය + හෙළ උරුමය + ජනතා විමුක්ති පෙරමුණ + සමසමාජ (ජයම්පති පිල) + කොමියුනිස්ට් පක්ෂය (සුභසිංහ පිල) + සිවිල් ව්‍යාපාර - කන්‍යාවන් කිරීම සෑහෙන අමාරු කාර්යයකි. විශේෂයෙන් 2015- 2018 භාවිතය එයට හරහට සිතින හෙයිනි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ව්‍යවස්ථා සංශෝධන වැනි ආටෝපයන් පමණි එහිදී යොදාගත හැක්කේ. “අඩු නපුර” යන තර්කය එලියට එන්නේ එතනදී ය. කෙසේ වුව ද අපේ ශැඩ්නොව් ලා ඇත්තේ ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. 


බිල්ලන් සහ කන්‍යාවියන් මවා පෙන්වීම මගින් මහජන පෙරමුණක් ඇටවීමට දරන වෑයම අතිශය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ලෙයින් ලියවුන වැඩකරන ජනතා ව්‍යාපාර ඉතිහාසය අපට සිහිපත් කරයි. මෙම හබකය ඇතුලට අපි ගමන් නො කළ යුත්තෙමු. එසේ නම් අප නැවතත් ගමන් කරන්නේ කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නයට ය. එයට කෙටි පිලිතුරක් තිබේ යැ යි යමෙකු සිතන්නේ නම් ඇයට හෝ ඔහුට මෙම හබකයෙන් ගැලවීමට නො හැක. සමාජ පහත තට්ටුවේ බලවේග ධනේශවරයෙන් ස්වාධිනව සංවිධානය කොට මෙහෙයවීම මගින් පමණක් ය, අපට විමුක්තියක් ගැන සිතිය හැක්කේ. මහජන පෙරමුණුවාදයේ ලෙයින් ලියවුන ඉතිහාසය මගින් පාඩම් ඉගෙන සමාජ පහත තට්ටුවේ බලවේග ගැන පමණක් විශ්වාසය තබා ක්‍රියා කරමු. 

Comments

  1. සුමනසිරි ලියනගේ මහතාණෙනි! දිගු නිහැඬියාවකින් පසුව නැවත්තත් බ්ලොග් ලෝකයට ගොඩවැදීම පිළිබඳව ස්තූතියි! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "බර කතා බහ" තීරුවේ/කොලමේ දක්වා ඇත! අපගේ සින්ඩිය: දැනට ලියැවෙන හා නොලියවෙන බ්ලොග් 1230කට ගොඩ වැදීමට හැකි පියගැට පෙලක ඇරඹුමයි. ගොඩ වැදී බලන්න! අමගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන්න! ස්තූතියි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

  කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය.  මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්‍රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්‍රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි.  ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්‍රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්‍රමාණයකට කාර්ම
  කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන නැවතත් මා විසින් මීට වසර හතරකට පමණ පෙර ලියූ ලෙනින් විසින් (නැප්චූන් පබ්ලිකේෂන්, 2018) කෘතියේ කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය ගැන ලියවුන පරිච්චේදය මම අද උදැහන නැවත කියවීමි. එය විචාරීය කියවීමක් වූයේ පහුගිය වසර දෙක තුන තුළ මගේ අත්දැකීම්, කියවීම් සහ භාවිතයන් හමුවෙහි ඒ ලියූ දේ කෙතරම් නම් වලංගුද යන්න එම කියවීමෙහි අරමුණ වූ හෙයිනි. මේ සටහන ඒ කියවීමෙහි ප්‍රතිඵලයකි. මාක්ස්වාදී සාහිත්‍යයේ කෘෂිකාර්මික ප්‍රශ්නය සාකච්ඡා කෙරුනේ කෘෂිකර්මය තුළ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා කෙසේ කුමන ක්‍රියාවලියක් හරහා ගොඩනැගෙන්නේ ද යන ප්‍රශ්නය වටා ය. එම ක්‍රියාවලිය කාර්මික වර්ධනයට කෙසේ ආධාරවන්නේ ද යන්න ඒ හා බැදුන අනෙක් ගැටලුව ය. ලෙනින් පුලුල් වශයෙන් මෙම පරිවර්තනය දෙආකාරයකින් සිදුවේ යැයි කල්පනා කළේ ය. ඒ පහතින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from below) සහ ඉහළින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from above) යනුවෙනි. පළමුවැන්නට ඔහුගේ උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය වූ අතර දෙවැන්නට උදාහරණය ලෙස හේ දැක්වූයේ ප්‍රසියාව ය. මා යෝජනා කරන පළමුවෙනි ප්‍රස්තූතය වන්නේ ගෝලීය දකුණේ බොහෝ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්