Skip to main content
දැනට ලියාගෙන යන පොතක  කොටසක්.....



හතරවෙනි පරිච්චේදය
අසාධාරණයට සහ අනාරක්ෂිත භාවයට හේතු කවරේද?  පලවෙනි කොටස


“මෙම ග්‍රහලෝකය බැංකුවක් වීනම් මේ වනවිටත් ඔව්හු
 එය බේරාගනු ලබනු ඇත්තාහ.”
-ග්‍රීන්පීස් ෆොස්ටරයකින්

අසාධාරණය සහ අනාරක්ෂිත භාවය තනි හේතුවකින් පැන නගින්න කැයි කරන පැහැදිලි කිරීම කිසිසේත් ම පිළිගත නොහැක. අසාධාරණය සහ අනාරක්ෂිත භාවය වර්තමාන සමාජයට පමණක් පොදු වූ ගති ලක්ෂණ යක් හැටියට දැක්වීම ද නිවැරදි නොවේ. විවිධ හේතුන් මත පැරණි සමාජයන්හි දැඩි අසාධාරණයක් සහ අනාරක්ෂිත භාවයක් පැවති බවට පෙර අපර දෙදිග ඉතිහාසයන් මගින් පෙන්නුම් කෙරේ. පැරණි සමාජයන්හි අනාරක්ෂිත භාවයට බොහෝ විට පාදක වුයේ මංකොල්ල කරුවන්ගේ ආක්‍රමණ සහ ස්වාභාවික ව්‍යසනයන් සහ වසංගත රෝග මගින් ඇතිවුන පීඩාවන් ය. මෙහි ප්‍රතිපලයක් ලෙස එකල  මානුෂ ආයු කාලය බෙහෙවින් කෙටි විය. අසාධාරණය සහ අනාරක්ෂිත භාවය අවිච්චින්නව පැවතීමට එක ප්‍රධාන හේතුවක් වන්නේ ඒ හරහා කිසියම් යහපතක් වන්නේ ය යන අදහස මනුෂ්‍ය සිත් සතන් වල කාවැදී තිබීම ය. රජුනට අවනත වීම දෙවියනට ගරු කිරීමක් ලෙස සැලකීම නිසා රජුන්ගේ සහ ඔහුගේ නිලධාරයේ පාලනයෙන් වන අසාධාරණය සහ මර්ධනය ජනතාව ඉවසා සිටියහ. එපමණක් නොව රජ තම ආරක්ෂකයා ලෙස ද ජනයා සැලකූහ. එමෙන්ම අසාධාරණය සහ අනාරක්ෂිත භාවය සමාජ සම්බන්ධතාවයන්ගෙන් පන නැගෙන්නක් නොව කර්ම විපාකයන්හි ඵලයක් ලෙසද සැලකීමට ජනතාව සමහරවිට පුරුදුව සිටින්නෝ ය. මෙවන් පැහැදිලි කිරීම් වල සාවද්‍ය හෝ නිරවද්‍ය බාවය ගැන තහවුරු කිරීම පහසු නොවේ. එහෙත් අප අත්දැකීම් මගින් දන්නා දෙය වන්නේ අසාධාරණය සහ අනාරක්ෂිත භාවය මෙන්ම කොන් කිරීම සමාජ සම්බන්ධතා සහ ආයතනික රාමුව හේතු කොටගෙන ඇතිවන බව ය. මෙම පරිච්චේදය ඇතුළු ඉදිරි පරිච්චේද කිහිපයේ යොමුව එම හේතු කාරණා වලට පමණක් යොමු කරන්නේ ය.
අනාරක්ෂිත භාවය සහ මානව ක්‍රියාකාරිත්වය
පසුගිය දිනෙක නේපාලයේ ඇතිවූ භුමි කම්පනයකින් 10,000 ක් පමණ මියගිය බවත් විශාල පිරිසක් අනාථ භාවයට ඇද දැමු බවත් අපි ඇසුවෙමු. මෙයට දශකයකට පමණ පෙර ඇති වූ සුනාමි ව්‍යසනය නිසා මෙරට මුහුදුබඩ පළාත් වලට වූ හානිය සහ ජීවිත නැතිවීම් පිළිබද ඛේදවාචකය අපට වඩා ආසන්න අත්දැකීමක් විය. පසුගිය සිසිර සෘතුව ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවලට බෙහෙවින් සහ අසාමාන්‍ය ලෙස දරුණු එකක් විය. දැඩි නියං තත්වයන් මෙන්ම ගංවතුර නිසා ද පීඩා විදින රටවල් බොහෝ ය. ස්වාභාවික ව්‍යසනයන් හේතුන් දෙකක් නිසා ඇතිවිය හැක. එනම් අතිශයින් ස්වාභාවික ගතිකයන් මගින් සිදුවන ස්වාභාවික ව්‍යසනයන් සහ මානව ක්‍රියා කාරිත්වය මගින් ප්‍රේරිත ස්වාභාවික ව්‍යසනයන් යනුවෙනි. භූචලන, ගංවතුර, නියග වැනි ව්‍යසනයන් ස්වභාව ධර්මයේ ගතිකයන් මගින් ඇතිවන දේ ය. භූ ගර්භය තුල ඇතිවන වෙනස් කම් භූචලන ඇති කරයි. ගංවතුර, නියග, අධික සිසිලස ද එවන් ස්වාභාව ධර්මතාවයන්හි ඵලයයන් වන්නේ ය. මෙම සිද්ධීන් ඉතිහාසයේ විවිධ කාලයන්හි ඇතිවූ ගැන ඓතිහාසික වාර්තා අඩු නොවේ. එහෙත් අද බොහෝ විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ වර්තමානයේ මෙවන් සිදුවීම් ඇතිවීමේදී මානව ක්‍රියාකාරිත්වයේ ද බල පෑමක් පවතින බව ය. එනම් මානව ක්‍රියාකාරිත්වය ස්වාභාව ධර්මතාවයන්හි සන්ක්යාතය, ත්රීවතාවය, පැතිරීම සහ ප්‍රතිවිපාක වැඩි කර ලීමට බල පා ඇති බව ය. අපි එම තර්කනයන් මදක් පිරික්සා බලමු. පොල් රොජර්ස් සදහන් කරන පරිදි අසාමාන්‍ය වූ උණුසුම් දිනයන් සහ අධික වර්ෂාපතනයන් වැනි අන්තයට ගිය කාලගුණ තත්වයන් ඇතිවන වාරගණන් වල ඉහළයාම මානව ක්‍රියාකාරිත්වයේ බලපෑම නිසා ඇතිවන දේශගුණික විපර්යාසයන් නිසා ය යන සැකය නව පර්යේෂණයන් මගින් තහවුරු වන්නේ ය. එක අතකින් බැලුවිට මෙම අදහස අලුත් දෙයක් නොවේ. තම ක්‍රියාකාරිත්වය සාවද්‍ය සහ අයුතු නම් එහි ප්‍රතිපලයක් ලෙස ස්වභාව ධර්මය නරක ලෙස හැසිරෙනු ඇත යන්න පැරණි ජන විශ්වාසය විය. එය දේව කෝපයක් ලෙස ද ජනයා අර්ථ දැක්වුහ. රජ ධර්මිෂ්ඨ නම් කලට වැසි, සරු භාව බෝග ලැබෙනු ඇත. මෙම කරුණු අප දන්නා විද්‍යාත්මක විධි ක්‍රම මගින් සනාථ කිරීම අපහසු වුව ද එකක් පැහැදිලි ය. එනම් ස්වභාව ධර්මය සහ මානව ක්‍රියාකාරිත්වය අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත යන්න චිරාත් කාලයක් ජන විශ්වාසයේ තිබු පිළිගත් උපමානයක් වූ බව ය. එහි විද්‍යාත්මක බව ගැන යමෙකුට ප්‍රශ්න කල හැකි වුව ද එම අදහස වෙත තිබු පුළුල් පිලි ගැන්ම ස්වභාව ධර්මය සහ මානවයා අතර තුලනයක් පවත්වා ගැන්මට ආධාරකයක් විය. ස්වභාව ධර්මය සහ මානවයා අතර තුලනය පිළිබද මෙම උපමානය නවීනත්වයේ ක්‍රියාවලිය සමග බරපතල වෙනසකට භාජනය වූ බව පෙනේ. නවීන විද්‍යාත්මක ගවේෂණයන් හේතු කොටගෙන ස්වභාව ධර්මය සහ මානවයා අතර සම්බන්ධයෙහි මානවයා ආධිපත්‍ය වාදී තත්වයකට පත් කෙරුනේ ස්වභාව ධර්මය මානවයා අත ඇති යෙදවුමක් බවට ලඝු කරමිනි. ස්වභාව ධර්මය වෙතින් පිරිනමන බොහෝ දේ මානවයාට ප්‍රයෝජනයට ගත හැක්කේ කිසියම් ක්‍රියාවලියකට යටත් කිරීම හරහා ය. මෙම ක්‍රියාවලිය ඇරඹෙන්නේ නවීනත්වයේ ක්‍රියාවලිය ආරම්භ වන්නට බොහෝ  කලකට පෙර ය. මෙම ක්‍රියාවලිය අපි නිෂ්පාදනය ලෙස හදුන්වමු. මුලින් සරල කේවල ක්‍රියාවලියක් වූ එය ක්‍රමානුකුලව සංකීර්ණ සහ වක්‍ර එකක් බවට පරිවර්තනය විය.
ස්වභාව ධර්මය සහ මානවයා අතර සම්බන්ධයේ දී ස්වභාව ධර්මය වෙතින් කෙලින්ම හෝ ක්‍රියාවලියකට යටත් කර හෝ මානවයා නොයෙක් දේ ලබා ගන්නා අතරම් අපද්‍රව්‍ය ලෙස  ඔහු ස්වභාව ධර්මයට නොයෙක් දේ මුදා හරින්නේ ය. මෙම අපද්‍රව්‍ය එක්කෝ ඝන අපද්‍රව්‍ය වනු ඇත. නැත්නම් දියර අපද්‍රව්‍ය වනු ඇත. සදාකාලික වූ එම ක්‍රියාදාමය මැතක් වන තුරු බරපතල පරිසරාත්මක ප්‍රශ්නයක් ලෙස මතු නොවින. එසේ වුව ද, ස්වභාව ධර්මය අනිසි සහ විනාශකාරී ලෙස හැසිරවීමට මානවයා උත්සාහගත් අවස්ථාවන්හි දී ඇතැම් ශිෂ්ඨාචාරයන් බිඳ වැටීමට එය හේතු වූ බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. රෝම අධිරාජයා බිද වැටීමට අධික වන විනාශය, පස නිසරුවීම සහ මඩවගුරු ඇතිවීම වැනි මානව ක්‍රියාකාරිත්වයන් හේතු වූ බව සිමෝර් සහ ජිරාඩේ පෙන්වා දෙති. නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලත ස්වභාව ධර්මය තම නතුවට ගැන්මට මානවයා හැමවිටම වෙර දරයි. මෙම උත්සාහයේදී ස්වභාව ධර්මය සහ මානවයා අතර ඇති තුලනය බිද වැටීමේ අනතුරක විභවයක් ඇතිවීම ස්වාභාවික ය. විද්‍යාත්මක විප්ලවය, නව ගවේෂණ සහ ඥාන පද්ධතීන් හි ගොඩ නැගීම සහ නුතනත්ව ක්‍රියාවලිය අප මීට පෙර සදහන් කල පරිදි මෙම අනතුරට නව විචල්‍යයන් එකතු කලේ ය. මෙම කරුණ වැඩි දුර සාකච්චා කිරීමට පෙර වැරදි තේරුම් ගැනීමකට ඉඩ නොදීමට යමක් සදහන් කල යුතු ය. නුතනත්ව ක්‍රියාවලිය සහ ඊට පෙර සහ පසු දිග් ඇදුණු ක්‍රියාවලීන් ජනනය කරනු ලැබුවේ නිශේධනාත්මක ඵලයයන් පමනෙක් යැයි මෙහිදී අදහස් නොකෙරේ. මානව දිවි පැවැත්මට සහ ශිෂ්ඨාචාරයට එය එක් කල දේ බොහෝ ය.
විද්‍යාත්මක විප්ලවයට සහ නුතනත්ව ක්‍රියාවලියට පෙර අවධියේදී ස්වභාව ධර්මය සහ මානවයා අතර සම්බන්ධයේ දී ස්වභාව ධර්මය ප්‍රධාන විචල්‍යය වුයේ ය. විද්‍යාත්මක විප්ලවය සහ නුතනත්ව ක්‍රියාවලිය, මානවයාට ස්වභාව ධර්මය හමුවේ අවනතවීමට සිදුවීම බෙහෙවින් අවම කලේ ය. දසලක්ෂ ගණන් ජනයා මරණයට පත්කළ වසංගත රෝග මොහොමයක් අද පෘථිවි තලයෙන් එක්කෝ සහමුලින්ම අතුගා දමනු ලැබ ඇත, නැත්නම් බෙහෙවින් අවම කර ඇත. නවීන වෛද්‍ය විද්‍යාවේ වර්ධනය මගින් කර ඇති හාස්කම් ඒමට ය. එමෙන්ම පරිවහන සහ සන්නිවේදන අංශයේ ඇති වූ විප්ලවීය වර්ධනයන් හේතු කොට ගෙන විවිධ ප්‍රදේශ අතර සම්බන්ධතා පුළුල් කොට ඇතිවා පමණක් නොව වේගවත් කර ඇත. ආහාර ලබා ගත හැකි බවට කාලගුණික සාධක තව දුරටත් අද බාධාවක් නොවේ. ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේදයන් නිසා ආහාර විනාශය අවමකර ගැන්මට හැකිවී ඇත. දෙවන පරිච්චේදයේ සාකච්චා කල පරිදි මානව වර්ගයා පහුගිය වසර 250 ක් පමණ කාලය තුල ලබාගෙන ඇති ජයග්‍රහණ අපමණ ය. අද මානව ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිර ස්වභාව ධර්මයක පැවැත්ම ගැන කථා කිරීම පවා අපහසු ය. ‘ස්වභාව ධර්මයේ නිමාව’ ගැන මැකිබන් වැනි රචකයන් කතා කරනේ ද එහෙයිනි. ස්වභාව ධර්මය සහ මානවයා අතර සම්බන්ධයේ ස්වභාවය මෙසේ පහුගිය සියවස් දෙකහමාරක කාලය තුල උඩුකුරු යටිකුරු වීමක් අපට දැකිය හැකිය. ස්වභාව ධර්මය සහ මානවයා අතර සම්බන්ධය තුල මානවය මෙසේ පෙරට සහ ආධිපත්‍යට ඒම සවභාවයෙන්ම අයහපත් ද? මෙම ප්‍රශ්නයට අපට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි ය. කෙසේ වුවද එම ගමනෙහි අද දැකිය හැකි ප්‍රතිවිපාකයන් එම ගමන කෙරුණ සන්දර්භය තුල ලා සාකච්චා කිරීමට අපට හැකි වේ.
ස්වභාව ධර්මය වෙතින් යම් යම් දේ උකහා ගන්නා මානවයා නැවත වරක් ඝණ අපද්‍රව්‍ය ලෙස හා දියර අපද්‍රව්‍ය ලෙස පරිසරයට කරනු ලබන මුදා හරීම් ගැන අපි මීට පෙර කථා කළෙමු. තාක්ෂණික විපර්යාසය සහ කාර්මික විප්ලවය සමග මෙයට අමතරව මානව ක්‍රියාකාරිත්වය හේතු කොටගෙන පරිසරයට මුදා හරින වායුමය අපද්‍රව්‍ය ප්‍රමාණයන් ක්‍රම ක්‍රමයෙන් ඉහල යන්නට පටන් ගත්තේ ය. මෙසේ පරිසරයට මුදා හැරෙන වායුමය අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් තුන් වැදෑරුම් ය. පලවැන්න, පාශානිය ඉන්ධන, එනම් ගල් අගුරු, ඛනිජ තෙල්, විවිධ ආකාරයෙන් පිලිස්සිමෙදී  මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ය. දෙවැන්න, එම පාශානිය ඉන්ධනයන් හි අපවිත්‍ර දේ දහනය මගින් ඇති කෙරෙන ඇසිදික් වායුව ය. මෙහිලා මුලික වන්නේ සල්පර් (ගන්ධක) ඩයොක්සයිඩ් ය. තුන්වැන්න ඕසොන කවරය විනාශ කරන ශීතකරණ සහ වායු සමීකරණ මගින් පිට කෙරෙන CFC වායුවය. මෙසේ මුදාහරින වායු ප්‍රමාණය, ත්රීව්රතාවය සහ ප්‍රතිවිපාක ඉක්මනින් සහ පහසුවෙන් හදුනා ගත නොහැක. කාබන් ඩයොක්සයිඩ් වායුව පාට සහ ගද රහිත එකක් යැයි කියවේ. එය විෂ කාරකයක් ද නොවේ. සතුන් හුස්ම පිට කිරීමේදී ද කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හැරේ. ස්වාභාවිකව මුදා හැරෙන මෙම වායු ප්‍රමාණය සහ ත්රීව්රතාවය ඉහල නැගුනේ කාර්මික විප්ලවයෙන් පසුව ය. මෙම මුදා හැරෙන වායු දැවැන්ත පරිසර ප්‍රශ්නයක් බවට පත්වීම මානව ඉතිහාසයේ සදාකාලිකව පැවතුන ප්‍රශ්නයක් නොව සමකාලීන ප්‍රශ්නයකි.
මේ මගින් ඇතිකර ඇති පරිසර ප්‍රශ්නය විශාල එකක් වනවා පමණක් නොවේ. එම ප්‍රශ්නය මගින් ඇතිකරන ප්‍රතිවිපාක සමස්ථ පෘථීවි තලයේ අනාගත පැවැත්ම පවා ප්‍රශ්නයට ලක් කරයි. ලෝකයේ විශාලතම විද්‍යාත්මක සංගමය ලෙස සැලකෙන ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ 2014 වාර්තාව කරන අනතුරු ඇගවීම මෙහිදී සිහිපත් කිරීම වටී. කාලගුණ විපර්යාසයන් ගැන බොහෝ පුරෝකථන පදනම් වන්නේ හරිතාගාර වායු මුදාහැරීම්, උෂ්ණත්වය වැඩිවීම් සහ මුහුදු මට්ටමේ ඉහලයෑම් වැනි අනාගත වෙනස් කම් වාරක්‍රමිකව සිදුවන බව ය. එනම් කිසියම් මට්ටමක වායු මුදාහැරීමක් කිසියම් මට්ටමක උෂ්ණත්වයේ ඉහල යාමකට හේතුවන බවත් එය නැවත කිසියම් මට්ටමකින් මුහුදු ජල මට්ටමේ ඉහල යාමකට හේතු වන බවත් එම පුරෝකථනවල පදනම වන්නේ ය. එහෙත් භූවිද්‍යාත්මක වාර්තා පෙන්වන්නේ කිසියම් සාධකයක සුළු වෙනස් වීමක් වුවත් සමස්ථ පරිසර පද්ධතියේ හදිසි සහ ඉක්මන් වෙනස් කම් ඇති කිරීමට ඉඩ ඇති බව ය. එනම් ගෝලීය උෂ්ණත්වයේ කිසියම් සුළු ඉහල යාමක් හේතු කොටගෙන අනපේක්ෂිත ව්‍යසනයක් ඇති වීමට ඉඩ ඇත. එමනිසා පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් සුළු ප්‍රමාණයකට පවා නොනැවතිය හැකි විපර්යාසයක ඇති කිරීමේ විභවයක් තිබිය හැක. එමනිසා ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ 2014 වාර්තාව අද තත්වය මානවයාට පාලනය කල නොහැකි මට්ටමකට පත්ව ඇතැයි  අනතුරු අගවන්නේ ය. ලොව ප්‍රධාන පෙලේ දේශගුණික විද්‍යාඥයෙකු මෙන්ම දේශගුණ විපර්යාසය පිළිබද ක්‍රියාධරයෙකු වන ජේම්ස් හැන්සන් සදහන් කරන්නේ ලෝක ජනයා දේශගුණික දඹයක් (climate cliff) වෙත ගමන් ගනිමින් සිටින බව ය. මෙම තත්වය තුල දේශගුණ විපර්යාසය පිළිබද අන්තර් ආණ්ඩු පැනලය විසින් නිර්දේශ කල ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ සෙන්ටිග්‍රේඩ් 2 මට්ටමේ පවත්වා ගැන්මේ යෝජනාව පවා දැන් යල් පැනගොස් ඇති බව මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ කෙවින් ඇන්ඩර්සන් සහ ඇලිස් බොස් සදහන් කරති. අධ්‍යනයන් පෙන්වන්නේ සෙන්ටිග්‍රේඩ් 2 මට්ටමේ වැඩිවීමක් පවා ඉදිරි කාලයේදී දුපත් මුහුදු ජලගත වීම, නියග, කුනාටු සහ ගංවතුර ඇතිවීම, ජීව විනාශය සහ කෘෂිකර්ම නිෂ්පාදනයේ පහත වැටීම වැනි ව්‍යසනයනට හේතු විය හැකි බව ය.
ස්වීඩන් ජාතික පරිසර විද්‍යාඥයෙකු වන යොහාන් රොක්ස්ටෝර්ම් නව වැදෑරුම් ග්‍රහ මණ්ඩලීය සීමාවන් ගැන සදහන් කරයි. මෙම සීමාවන් නිර්වචනය කර ඇත්තේ හොලොසීන් භූ අවධිය පදනම් කර ගනිමිනි. මානව ශිස්ටාචාරයේ ආරම්භය සටහන් කරන්නේ එම අවධියේදී ය. එම සීමා නවය වන්නේ, (1) දේශගුණික විපර්යාසය, (2) සාගර ඇසීඩ්කරණය, (3) ඕසොන කවරය විනාශවීම, (4) ජීව විවිධත්වය නැතිවයාම, (5) නෛට්‍රජන් සහ ප්රෝස්ඵරස් චක්‍රය අවුල් වීම, (6) භුමි ආවරණය හීනවීම, (7) පිරිසුදු ජලය හිගකම, (8) එයරසොල් රාශිකරණය සහ (9) රසායනික දුෂණය. යන ඒවා ය. මෙම සීමාවන්ගෙන් කිහිපයක් මේ වන විටත් සහේතුක සීමාවන් වලින් පිටතට ගොස් ඇත්තේ ය. (බලන්න සටහන)


1 සටහන
නව වැදෑරුම් ග්‍රහ මණ්ඩලීය සීමා




මෙහි ප්‍රශ්නාර්ථ ලකුණු පෙන්වන්නේ එම සීමා මනින ප්‍රමිත මිම්මක් නොමැති සීමාවන් ය. මෙම සන්දර්භය තුල යොහාන් රොක්ස්ටෝර්ම් යෝජනා කරන්නේ ආර්ථික වෘර්ධිය කිසියම් කාල සීමාවකට නතර කර දැමිමට ය. වර්තමානයේ කෙරෙන ආකාරයේ සංවර්ධනයක් දිගින් දිගට සිදුවුවහොත් එය මුළු මහත් පෘථිවි තලයටම බරපතල ඇගවීම් ඇති කරනු ඇත. පෘථිවිය සහ එහි වසන ජීවින් මුහුණ දෙන මෙම අනතුරුදායක තත්ත්වය වෙනත් ආකාරයකින් ද සාකච්චා කල හැක.
විද්‍යාඥයන් සදහන් කරන්නේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සියයට 2 ක වේගයෙන් ඉහල යන්නේ නම් දේශගුණික විපර්යාසයෙහි සහේතුක තොන්ගල ලක්ෂයට අප පැමිණ ඇති බව ය. පාශානික ඉන්ධන දහනය, සිමෙන්ති නිෂ්පාදනය සහ ඉඩම් හෙළි කිරීම් හේතු කොට ගෙන 1750 සිට අංගාර මෙට්‍රික් ටොන් බිලියන 566 වායු මණ්ඩලයට අතිරේක වශයෙන් මුදා හැර ඇත්තේ ය. කාර්මික විප්ලවයෙන් පසු මුදා හැරෙන අංගාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 1000 මට්ටමේ පවත්වා ගැන්මට ක්‍රියා කිරීමට නම් ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සියයට 2 ක මට්ටමේ පවත්වා ගත යුතු ය. එහෙත් අද පවතින ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය තව දුරටත් නොකඩවා පැවතීමට ඉඩ දුනහොත් 2040 වන විට අප එම සහේතුක තොන්ගල ලක්ෂය පසු කරනු ඇත.  
වගකිව යුත්තේ කවුරුන් ද?
මෙය අනාරක්ෂිත ලෝකයකි. මෙයට වගකිව යුත්තේ කවුරුන් ද? මුළු මහත් මානව සංහතියම මෙයට වගකිව යුතු ද?
මානවයා විසින් මුදා හරින විවිධාකාර අපද්‍රව්‍ය අවශෝෂණය කර ගැන්මට වායුගෝලයට සහ පෘථිවියට ඉමහත් ශක්තියක් පැවතින. පසුගිය සියවසේ අවසන් කාර්තුව වනතුරු පරිසරය බරපතල ගැටලුවක් මතු නොකරේ එම ඉමහත් ශක්තිය නිසා ය. එහෙත් අද එයට සහේතුකව දරාගත හැකි සීමාවන් සමහරක් ලෝකය ඉක්මවා ගොස් ඇත්තේ ය. තව සමහර සීමා අද්දරට ලෝකය පැමිණ ඇත. මෙම ලෝකය ක්‍රම ක්‍රමයෙන් වඩා අනතුරුදායක ස්ථානයක් බවට පත්වෙමින් පවතී. මානව වර්ගයා ස්වභාව ධර්මයෙන් ලබා ගන්නා දේ බොහෝවිට ප්‍රයෝජනයට ගන්නේ කිසියම් ක්‍රියාවලියකට යටත් කර බව අපි  පෙර සදහන් කළෙමු. එය අපි නිෂ්පාදනය ලෙස හැදින්වීමු. ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තිය (metabolism) අනීවාර්යයෙන් ම ස්වභාව ධර්මය විෂයෙහි අර්බුදකාරී තත්ත්වයක් අත්‍යන්තයෙන් ම මතු නොකරයි. ඒ ස්වභාව ධර්මය සතු විශාල අවශෝසන ශක්තිය නිසා සහ මානවයා තමා මුදාහල අපද්‍රව්‍ය බොහොමයක් පුනර්නිෂ්පාදනය ට යොදා ගත් නිසා ය. ගම සහ නගරය අතර වෙනස සහ ආයාත කෙරෙන කෘෂි භාණ්ඩ මත යැපෙන නගර බිහිවීමත් ඒ සමග කෘෂිකාර්මය තුල පුනර් නිෂ්පාදනය සදහා යොදා ගත හැකි අපද්‍රව්‍ය අවකාශීය වශයෙන් වෙනත් තැනක මුදා හැරීමත් සමග ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තිය කිසියම් අවුලකට පත් කෙරින. කෘෂිකාර්මයට පුනර් නිෂ්පාදනය සදහා යොදා ගත හැකි අපද්‍රව්‍ය අහිමිව ගිය අතර ඒවා කසල ලෙස වෙනත් තැනක රාශිභූත විය.
ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තික විරසකය ශක්තිමත් වන්නේ බටහිර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ කාර්මික විප්ලවය දිග ඇරීම සමග ය. ඒ සමග නිෂ්පාදන ක්‍රියාවලිය වඩා සංකීර්ණ එකක් බවට පත්විණ. සත්ව බලය, ජල බලය වෙනුවට වාෂ්ප සහ විද්‍යුත් බලය බහුල වශයෙන් යොදා ගැනින. මෙම පරිවර්තනයේ දී පාශාණීය ඉන්ධන භාවිතය සීග්‍රයෙන් ඉහල නැගිණ. එමෙන්ම කාර්මික නිෂ්පාදනය ඉහල යෑම සමග විවිධ ආකාරයේ කාර්මික අපද්‍රව්‍ය රාශීභූත වූ අතර එම අපද්‍රව්‍ය ගංගා ඇල දොල ආදියට මුදා හැරිණ. ස්ටුවට් හෝල් ට අනුව නව බල ශක්තීන් සහ නව තාක්ෂනය පදනම් කරගත් කාර්මික නිෂ්පාදනය නුතනත්ව ක්‍රියාවලිය තුල හුදකලාව ඇති වූ එක් ක්‍රියාවලියක් නොවේ. ඔහු සදහන් කරන විධියට මෙම එකට බැදුන ක්‍රියාවලීන් නවීන සමාජයනට විශේෂිත වූ හැඩයක් සහ රූපයක් ලබා දුන්නේ ය. හේ මෙසේ ලියයි. ‘නවීන සමාජ හුදු සමාජ ක්‍රියාවන්ගේ සමුහ කට්ටලයක් වන “සමාජය” න් නොව නිශ්චිත ව්‍යුහයන් සහ මනාව නිර්වචනය කෙරුණ සමාජ සම්බන්ධතා පද්ධතීන් හෙබි “සමාජ සංස්ථාපනයන්” ය.’ මේ අනුව පරිසර අර්බුදය හුදු නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් හැටියට අර්ථ කථනය කිරීම නිවැරදි නොවේ. මක් නිසා ද? මෙම නිෂ්පාදනය සංවිධානය කෙරුනේ මනාව නිර්වචනය කෙරුණ සමාජ සම්බන්ධතා පද්ධතීන් ඇතුලත නිසා ය. පසුගිය වසර 250 ක් පමණ කාලය තුල මෙම නිෂ්පාදන සහ සමාජ සම්බන්ධතා ජාලයෙහි පොදු ලක්ෂණ කිහිපයක් අදුනා ගැන්ම අපහසු නොවේ. ස්ටුවට් හෝල් එම ලක්ෂණ මෙසේ ලැයිස්තු ගත කරයි.
1. මහා පරිමාන නිෂ්පාදනය සහ පරිභෝජනය යන දෙකම වෙළදපොල සහ බැදීම;
2. දේපොළ, විශේෂයෙන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා ගොඩනැගිලි සහ ආම්පන්නවල පෞද්ගලික අයිතිය;
3. ලාභය සහ ප්‍රාග්ධන සමුච්චනය නිෂ්පාදනයේ අරමුණ සහ ඉලක්කය වීම;
4. නව වැඩ බෙදීම සහ බැදුන නව සමාජ පන්ති සම්බන්ධතා.
මෙවන් සම්බන්ධතා ජාලයක් තුල, ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තියේ විරසක බව පුදුමයක් නොවේ. පරිහරණ අගය වෙනුවට හුවමාරු අගය ඉලක්කය කර ගෙන ලාභය සහ ප්‍රාග්ධන සමුච්චය අන්තය බවට පත් කරගත් සමාජයක අසීමිත ලෙස ස්වභාව ධර්මය එම වුවමනාවන් සදහා ඉවක් බවක් නැතිව යොදා ගැන්ම බලාපොරොත්තු විය යුත්තකි. මෙනයින් ප්‍රාග්ධනය, ස්වභාව ධර්මය සහ එහි අංගයයන් දකින්නේ ප්‍රාග්ධන සමුච්චනයට ඇවැසි යෙදවුම් හැටියට ය. මෙම කරුණ තව දුරටත් පැහැදිලි වන්නේ, ස්වභාව ධර්මය ආරක්ෂා කර ගැන්මට යෝජනා කෙරෙන පියවරයන් පවා ප්‍රාග්ධන සමුච්චනයට ගැට ගසා ගැන්මට බහු ජාතික සමාගම් ගන්නා උත්සාහයෙනි.     
ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තියේ මෙම බරපතල විරසක වීමට සමස්ථ මානව වර්ගයාම වගකිව යුතුද? මෙම ප්‍රශ්නය මෙසේ නගන්නේ හේතු දෙකක් නිසා ය. අපි හැමකෙකුම බස් වලින් දුම්රියෙන් ගමන් කරමු. අපි බොහෝ දෙනෙකු පාශානීය ඉන්ධන විවිධ කාර්යයන් සදහා භාවිතා කරමු. කෘෂි නිෂ්පාදනයේදී විවිධ රසායන වර්ග භාවිතා කරන හෙයින් එම රසායන ද්‍රව්‍ය වලින් කොටසක් ජල පද්ධතීන්ට මුදා හැරීමට දායක වෙමු. මෙනිසා මෙම පරිසර විනාශය මගින් වන අනතුර ට අප ද වගකිව නොයුතු දැයි කෙනෙකුට සාධාරණව ප්‍රශ්න කල හැක. දෙවන හේතුව වන්නේ පරිසර විනාශයට සමස්ථ මානව වර්ගයාම වගකිව යුතුය යන අදහස න්‍යායාත්මකව ඉදිරිපත් කිරීමේ උත්සාහයක් ඇති හෙයිනි. Anthroposcene යන්නෙන් හදුන්වන මෙම අදහස අද කිසියම් ජනප්‍රිය අදහසකි. මෙයින් කියවෙන්නේ මානව වර්ගය අද අප වසන ග්‍රහ ලෝකය වෙනස් කරන ප්‍රධාන භූ විද්‍යාත්මක බලවේගය බවට පත්ව ඇති බව ය. ඔව්හු මෙම ග්‍රහ ලෝකය අදුනාගත නොහැකි තරමට වෙනස් කරමින් සිටිති. මෙම තර්කය ඉදිරිපත් කරන විද්‍යඥයනට අනුව ගින්න නිපදවිය හැකි එකම සත්වයා මානවයා ය. දර කැබලි පිලිස්සීමෙන් බල ශක්තිය ගැන දැනගත් මානවයා පාෂාණීය ඉන්ධන පිළිස්සීම සොයා ගත්හ. මෙම තේරුමෙන් ගත්විට පරිසරය විනාශ කිරීමේ වගකීම මානවයා පමණක් සතු මෙම ඒකාධිකාරී බලය වෙත පැවරේ. ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තියේ මෙම බරපතල විරසක වීමට සමස්ථ මානව වර්ගයාම වගකිව යුතුයැයි යන අදහස ඇගවීමෙන් කියන්නට තැත් කරන්නේ පරිසර විනාශය, මානවයාගේ සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරිත්වයේ ප්‍රතිපලයක් හැටියට ය. ඓතිහාසික සාධක මෙන්ම සමකාලින වර්ධනයන් මගින් ද මෙම තර්කය අනාථ කරනු ලබයි. නයෝමි ක්ලීන් This Changes Everything: Capitalism vs The Climate නැමැති ඇයගේ පොත මගින් පෙන්වා දෙන්නට තැත් කරන්නේ පරිසර විනාශය අවිච්චින්න සහ ප්‍රසාරනාත්මකව කෙරෙන ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය සමග බැදෙන බවත් ධනේශ්වර ක්‍රමයේ වර්තමාන නව ලිබරල් අවධිය තුල මෙම අනතුර බරපතල මට්ටමකට පත්ව ඇති බවත් ය. ඇය තව දුරටත් පෙන්වා දෙන්නේ පරිසර විනාශය වැළැක්වීම සදහා ගත යුතු පියවර වැළැක්වීමට ගෝලීය ඒකාධිකාරී සමාගම් සහ ඒවා වෙනුවෙන් පෙනීසිටින දේශපාලනඥනුත් ක්‍රියාකරන බව ය. එපමණක් නොවේ. පරිසර විනාශය සමග ඇතිවන තත්වයන්ගෙන් ලාභ ලබා ගැන්මට මොන්සැන්ටෝ වැනි සමාගම් ක්‍රියාකරන ආකාරයත් ඇය පෙන්වා දෙයි.
උක්ත විග්‍රහය මත පිහිටා පසුව ප්‍රවේශමෙන් සහ තව දුරටත් පරීක්ෂා කර බලනු වස් කිසියම් තාවකාලික නිගමන කිහිපයක් සටහන් කර ගත හැකි ය.  
1.  ස්වභාව ධර්මය සහ මානවයා අතර සම්බන්ධය මානව ඉතිහාසයේ මුල් අවධින්හිදී මානවයා අනෙක් සත්වයන් මෙනම් එය මත යැපෙන සහ එයට කිසියම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුදාහරින කෙනෙක් වුයේ ය. එහෙත් කල්යත්ම මානවයා ස්වභාව ධර්මය කිසියම් ආකාරයකට හැසිරවීමට හැකිකම ලබා ගත්තේ ය.
2. එසේ වුව ද එම ශක්තිය ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තියේ බරපතල විරසක වීමකට හේතු නොවී ය. ඇතැම් කාලවධීන්හිදී ප්‍රශ්න මතු වූ නමුදු ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තියෙහි තුලනය පවත්වා ගැනින.
3. ප්‍රබුද්ධ අවධිය, විද්‍යාත්මක විප්ලවය සහ ඒ හා බැදුන නවීනත්වයේ ක්‍රියාවලිය සමග මානවයා සතු දැනුම, විභවය මෙනම ආකල්ප ද ඉමහත් පරිවර්තනයකට භාජනය විය. ස්වභාව ධර්මය හැසිරවීමේ මානව ශක්තීන් ගවු ගණනකින් වර්ධනය වින. එමගින් ස්වභාව ධර්මයේ ඇතැම් ව්‍යසනයන් පාලනය කිරීමට මානවයා සමත් වුයේ ය. නවීනත්වයේ ක්‍රියාවලිය මෙම නව වර්ධනයනට නව මානයක් එකතු කලේ ය. දැනුම හුදු බලයක් වුවා පමනෙක් වුවා නොව, එය සමාජයේ දේපොළ හිමි සහ හසුරුවන පැලැන්තියේ බලයක් බවට ද පත්වින. ප්‍රබුද්ධ අවධිය තර්කය සහ දැනුම ඉදිරිපත් කලේ එහි කාරක වැදගත් කම තුලිනි. දෙකාර්ට්ස් දැනුම ජීවිතයට ප්‍රයෝජනවත් එකක් ලෙස දුටු අතර “මානවයා ස්වභාව ධර්මයේ මෙහෙයවන්නා මෙන්ම හිමිකරුවාද වන්නේය” යි අදහස් කලේ ය. මෙම “මෙහෙයවන්නා මෙන්ම හිමිකරුවා” තර්කය සහ දැනුම ප්‍රාග්ධනයේ නොකඩවා කෙරෙන සමුච්චන ක්‍රියාවලියට අනුබද්ධ කලේ ය. ස්වභාව ධර්මය සහ මානවයා අතර වරිවෘර්තියේ බරපතල විරසක වීම දිග ඇරෙන්නේ මෙම නවීනත්ව ක්‍රියාවලියේ සන්ධර්භය තුල ය.

4. ස්වභාව ධර්මය යටපත් කර ගැන්ම මානවයාගේ ආවේනික චරිතාංගයක් ලෙස පෙන්වීම හෝ සමස්ථ මානව වර්ගයාම මෙම පවෙහි කොටස් කාරයන් ලෙස දැක්වීම හෝ එනයින් පිළිගත නොහැක. 

Comments

Popular posts from this blog

  කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය.  මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්‍රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්‍රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි.  ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්‍රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්‍රමාණයකට කාර්ම
  කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන නැවතත් මා විසින් මීට වසර හතරකට පමණ පෙර ලියූ ලෙනින් විසින් (නැප්චූන් පබ්ලිකේෂන්, 2018) කෘතියේ කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය ගැන ලියවුන පරිච්චේදය මම අද උදැහන නැවත කියවීමි. එය විචාරීය කියවීමක් වූයේ පහුගිය වසර දෙක තුන තුළ මගේ අත්දැකීම්, කියවීම් සහ භාවිතයන් හමුවෙහි ඒ ලියූ දේ කෙතරම් නම් වලංගුද යන්න එම කියවීමෙහි අරමුණ වූ හෙයිනි. මේ සටහන ඒ කියවීමෙහි ප්‍රතිඵලයකි. මාක්ස්වාදී සාහිත්‍යයේ කෘෂිකාර්මික ප්‍රශ්නය සාකච්ඡා කෙරුනේ කෘෂිකර්මය තුළ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා කෙසේ කුමන ක්‍රියාවලියක් හරහා ගොඩනැගෙන්නේ ද යන ප්‍රශ්නය වටා ය. එම ක්‍රියාවලිය කාර්මික වර්ධනයට කෙසේ ආධාරවන්නේ ද යන්න ඒ හා බැදුන අනෙක් ගැටලුව ය. ලෙනින් පුලුල් වශයෙන් මෙම පරිවර්තනය දෙආකාරයකින් සිදුවේ යැයි කල්පනා කළේ ය. ඒ පහතින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from below) සහ ඉහළින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from above) යනුවෙනි. පළමුවැන්නට ඔහුගේ උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය වූ අතර දෙවැන්නට උදාහරණය ලෙස හේ දැක්වූයේ ප්‍රසියාව ය. මා යෝජනා කරන පළමුවෙනි ප්‍රස්තූතය වන්නේ ගෝලීය දකුණේ බොහෝ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්
Constitutional Reforms: Would it be a solution to the national question February 15, 2017, 8:01 pm   By Sumanasiri Liyanage A German friend of mine whom I met after 7 years in the middle of our conversation asked me about the state reforms project of the Yahapalana government. He said that many people he met had been sanguine about them in spite of some minor difficulties. Lankans have been talking about the state reforms since the second republican constitution was promulgated in 1978. Three main questions have been posed, namely, (1) The executive presidential system and over-centralized architecture of the constitution; (2) the constitutional relevance in ethnically divided society; and (3) the representational deficiency in the system of election. After a heated debate in the 1980s and 1990, the heat of the constitutional debate has now subsided as many seem to believe that the present system has reached some stability. This may be partly due to the rigid character of th