අවස්ථාවාදය පරදවමු
ලෙනින්ගේ ”අතිවාම කොමියුනිස්ට් වාදය ළදරු වලිප්පුවකි” යන කෘතිය බොහෝ අවස්ථාවල දී තම උවමනාවන් සඳහා අවස්ථාවාදීහූ පරිහරණය කරති. මේ සඳහා හොඳම උදාහරණය දෙසැම්බර් 14 වැනිදා මහාචාර්ය කුමාර් ඬේවිඞ් ීමබා්හ ෂික්බා පත්තරයට ලියූ ලිපියයි. මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දීමට නිශ්චිතව කීමට ඉදිරිපත් නොවීම ගැන ජනතා විමුක්ති පෙරමුණටත් මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා නව සමසමාජ පක්ෂය ඇතුළු වමේ පෙරමුණටත් හේ දොස් නඟයි. එසේ කරන්නේ මෙයට පෙර බොහෝ අවස්ථාවාදීන් කළාක් මෙන්ම
ලෙනින්ගෙන් උද්ධෘත පාඨ සොරා ගැනීමෙනි. මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතු වුවද මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකිවීම අපට තේරුම්ගත හැක. එවන් තත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ජනපතිවරණයට ඉදිරිපත් නොවීම හෝ ජනතාව ඉදිරියේ වගකිව යුතු පක්ෂයක් ලෙස ඉදිරිපත් නොවීම එහි ප‍්‍රතිපත්තිමය අඩුව පෙන්වයි. එය වෙනම කරුණකි.
මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීම මඟින් රටට ලොකු දෙයක් නොලැබෙන බව මහාචාර්ය කුමාර් ඬේවිඞ් පිළිගනී. අවම වශයෙන් ඇතිවිය හැක්කේ මහින්ද රාජපක්ෂ ගොඩනඟා ඇති තත්වයට වඩා නරක තත්වයකට රට ඇද නොවැටීම පමණි. උපරිම වශයෙන් තවත් අලූක්කාලක් එකතු වන්නට බැරි නැත. මගේ තක්සේරුව අනුව තත්වය එතරම්ම අයහපත් නැත. මෛත‍්‍රීපාල සිරිසේන බලයට ඒම සමඟ පොඩි ප‍්‍රජාතන්ත‍්‍ර අවකාශයක් ලැබෙනු ඇත.
බැද්දගානේ සංජීවලා පැමිණෙනු ඇත්තේ මෙම හනිමූන් කාලයෙන් පසුය. මෛත‍්‍රීපාල සිරිසේනට වෙනස් ආර්ථික ප‍්‍රතිපත්තියක් නැත. ඔහු කියන්නේ අප මේ නරක දේම වඩා හොඳට කරන බවය. මා මිත‍්‍ර රාජිත සේනාරත්න මෝඩි ක‍්‍රමයට ගමන් ගන්නා බවක් පෙනේ. කළු සල්ලි රටට ගෙන ඒම මඟින් ආර්ථිකය පණගන්වා ගතහැකි යැයි මෝඩි මෙන්ම ඔහු ද සිතයි. මම මෛත‍්‍රීපාල සිරිසේනගේ කතාවලට කන් දුනිමි. මට පෙනෙන්නේ ඔහුට ඇත්තේ ලොකු දුකකි. එනම් රාජපක්ෂ රජ කුමාරවරුනට ලැබෙන සැපසම්පත් තමාට තමාගේ පුතුට දිය නොහැකි වීමය. ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට දැමීමට නොහැකි වීම ගැන ඔහුට ලොකු කනගාටුවක් නැත. මම ජනාධිපති වී දවස් සියයක් ඇතුළත මහාචාර්ය සේනක බිබිලේ ගේ පිඹුරුපතට අනුව යමින් සකස් කළ ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට දමන බවට කියන්නට ඔහුට කටක් නැත. හයියක් නැත.
මහාචාර්ය ඬේවිඞ් වමට කියන්නේ වමනය විය යුතුබවය. කදිමයිෟ මෙරට ධනපති පන්තිය ගේමක් ගසමින් සිටිති. ලෙනින් අතිවාම කොමියුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි යන කෘතිය තුළ සඳහන් කළ පරිදි සමාජයේ ඉහළ තීරුවට පරණ පන්නයට තම පන්ති පාලනය ගෙනයෑමට නොහැකි වීම තීරණාත්මක වෙනසකට අවශ්‍ය ප‍්‍රථම කොන්දේසියය. එහෙත් එපමණින් තීරණාත්මක වෙනසක් ඇති නොවේ. මෙවන් තත්වයක දී තීණාත්මක වෙනසක් ඇති කිරීමට නම් සමාජයේ පහළ තීරුවලට ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුය. සමාජයේ ඉහළ තීරුවට පරණ පන්නයට තම පන්ති පාලනය ගෙනයෑමට නොහැකි වූ විට මෙයට පෙර වම කළේ එම නායකත්වය දීම නොව සමාජයේ ඉහළ තීරුවට පොඩි වෙනසක් කොට ලෙනින් සඳහන් කළ පරිදි සබන් බෝලයක් ගෙන සතුටු කිරීම ය. 1964 එය කෙරිණ. 2004 දී ද එයම කෙරුණි.
එනයින් සම්මුති දේශපාලනය ලෙනින් නිතරම දැම්මේ තුන්වන තැනටය යන්න ලෙනින්ගේ උක්ත කෘතිය කියවන ඕනෑම කෙනෙකුට වැටහේ. අනික් කරුණ නම් ලෙනින් සම්මුති ගැන කතා කිරීමේ දී නිතරම වාගේ කතා කළේ සමාජ පහළ තීරුව නියෝජනය කරන ප‍්‍රතිසංස්කරණවාදී පක්ෂ සමඟ ඇති කරගන්නා සම්මුති ගැනය. ලෙනින් අනික් එළඹි සම්මුති එක්කෝ රාජ්‍ය අතර සම්මුතිය. ඒ අමාරු තත්වයට මුහුණ දෙන්නට අවශ්‍ය නිසාය.
තමනට ජර්මන් ඒජන්තවරයෙකු ලෙස චෝදනා එල්ලවන බව දැන දැනත් ලෙනින් ජර්මන් කෝච්චියෙන් රුසියාවට 1917 දී ආ බව මහාචාර්ය ඬේවිඞ් අපිට මතක්කර දෙයි. මෙය නම් කදිම විහිළුවකි. ලෙනින් චෝදනාවට බිය නොවූයේ රුසියානු නගර පුරා පිබිදෙමින් තිබූ විප්ලවයත් එයට මුහුණදිය හැකි එහෙත් අවස්ථාවාදී බලපෑම් වලට යටවිය හැකි පක්ෂයකුත් තිබුණ තත්වයකය. එවන් තත්වයක දී අවස්ථාවාදී සම්මුතීනට එරෙහිවය ලෙනින් එය කළේ. මහාචාර්ය ඬේවිඞ් අද එවන් තත්වයක් නැති බව හොඳාකාරව දනී. වාණිජ ගුවන් යානයක නැඟීවත් නැවත ඒමට තරම් මෙම ජනපතිවරණය තීරණාත්මක නොවන බව හේ අවබෝධ කරගෙන ඇත.
සුමනසිරි ලියනගේ
Comments
Post a Comment