කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන නැවතත්
මා විසින් මීට වසර හතරකට පමණ පෙර ලියූ ලෙනින් විසින් (නැප්චූන් පබ්ලිකේෂන්, 2018) කෘතියේ කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය ගැන ලියවුන පරිච්චේදය මම අද උදැහන නැවත කියවීමි. එය විචාරීය කියවීමක් වූයේ පහුගිය වසර දෙක තුන තුළ මගේ අත්දැකීම්, කියවීම් සහ භාවිතයන් හමුවෙහි ඒ ලියූ දේ කෙතරම් නම් වලංගුද යන්න එම කියවීමෙහි අරමුණ වූ හෙයිනි. මේ සටහන ඒ කියවීමෙහි ප්‍රතිඵලයකි.
මාක්ස්වාදී සාහිත්‍යයේ කෘෂිකාර්මික ප්‍රශ්නය සාකච්ඡා කෙරුනේ කෘෂිකර්මය තුළ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා කෙසේ කුමන ක්‍රියාවලියක් හරහා ගොඩනැගෙන්නේ ද යන ප්‍රශ්නය වටා ය. එම ක්‍රියාවලිය කාර්මික වර්ධනයට කෙසේ ආධාරවන්නේ ද යන්න ඒ හා බැදුන අනෙක් ගැටලුව ය. ලෙනින් පුලුල් වශයෙන් මෙම පරිවර්තනය දෙආකාරයකින් සිදුවේ යැයි කල්පනා කළේ ය. ඒ පහතින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from below) සහ ඉහළින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from above) යනුවෙනි. පළමුවැන්නට ඔහුගේ උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය වූ අතර දෙවැන්නට උදාහරණය ලෙස හේ දැක්වූයේ ප්‍රසියාව ය.
මා යෝජනා කරන පළමුවෙනි ප්‍රස්තූතය වන්නේ ගෝලීය දකුණේ බොහෝ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය තවදුරටත් මේ ආදර්ශය තුළ පිහිටා සාකච්ඡා කිරීම සාවද්‍යය යන්න ය. ගෝලීය දකුණේ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය තවදුරටත් නොනිමි ධනේශ්වර කර්තව්‍යයන්ට ආමන්ත්‍රණය කිරීමක් ලෙස පොදුවේ දැකිය නොහේ. ඉතිරිව ඇති පූර්ව ධනේශ්වර හෝ වැඩවසම් සම්බන්ධතා ඉවත්කොට ධනේශ්වර වර්ධනයකට මං පෑදීම අද මේ රටවලට මුහුණ දීමට ඇති ප්‍රශ්නය නොවේ.
නිශ්පාදන මාදිලිය, නිශ්පාදන සම්බන්ධතා සහ රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය යන පැතිකඩ තුනම බැලූවිට ගෝලීය දකුණේ රටවල කෘෂිකර්මය හදුනාගතයුත්තේ ධනේශ්වර ක්‍රමයක් ලෙස ය. එය වර්ධනය වූයේ මාක්ස්, ඒංගල්ස්, කවුට්ස්කි සහ ලෙනින් අත්දුටු ආකාරයෙන් නොවේ. එය තේරුම් ගැන්මට හැක්කේ අසමාන සහ සම්මිශ්‍රිත වර්ධන නියාමයන් ඇසුරෙනි.
මෙහිලා එකිනෙකට බැදුන වර්ධනයන් කිහිපයක් හදුනා ගැන්මට හැක. මෙය විශේෂයෙන් ශ්‍රීලංකාවේ වර්ධනයන් ඇසුරෙන් සැකසුනකි.
1. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාව සෘජු හෝ වක්‍ර හෝ ලෙස ප්‍රාග්ධන ජනනය කරන ශ්‍රමිකයන් ය. මෙයින් වැටුපට පමණක් වැඩකරන කොටස බහුතරය නොවිය හැක.
2. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බලගතු ප්‍රාග්ධනය නිශ්පාදන ප්‍රාග්ධනය නොව වාණිජ, උගස්කාර සහ යන්ත්‍රකාර ප්‍රාග්ධනය වේ.
3. කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (agricultural mode of production) කාර්මික කෘෂිකාර්මික මූලධර්මයන් අනුව සංවිධානය වී ඇත. ඒ හරහා ඇතිවන්නේ සෘණාත්මක නිශ්පාදන බලවේගයන්හි වර්ධනයකි.
4. කෘෂිකාර්මික නිශ්පාදන බලවේගයන්හි ධනාත්මක වර්ධනයක් ඇතිවීමට පවත්නා නිශ්පාදන සම්බන්ධතා (1 සහ 2) බාධාවක් වේ.
5. එමනිසා ග්‍රාමීය නිශ්පාදන සහ පංති සම්බන්ධතා බිදැදැමීම, එනම් සමාජවාදී පරිවර්තනය මෙහි ලා විසදුම වේ.
6. රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය පවත්නා ධනේශ්වර නිශ්පාදන මාදිලිය පවත්වා ගැන්ම සදහා ක්‍රියාත්මක වේ. මැතිවරණ මගින් ආංඩු මාරුවීමට ඇති තත්ත්වය නිසා රාජ්‍ය ප්‍රතිපත්තිවල උච්චාවචනයන් දැකිය හැකි වුවද, පොදු දේපොල පැවරීම්, ඉඩම් ප්‍රතිපත්ති, විෂයෙහි රාජ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය තුළ ධනේශ්වර සහ නිලධාරිමය අගතිය දැකිය හැක.
මේ අනුව ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික ප්‍රශ්නය විසදීම යන්නෙන් ලංකා සමාජවාදී ජනතා පක්ෂය අදහස් කරන්නේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහිව සටන් කොට ග්‍රාමීය වැඩකරන ජනතාවගේ බලයක් හරහා ප්‍රාග්ධන ආධිපත්‍යයෙන් ගැලවුන, සුලුගොවිජනයා පදනම් කරගත් සොබාදහමේ ගොවිතැන නිශ්පාදන මාදිලිය කරගත් කෘෂිකාර්මික, සහ ධීවරයා සාමුහිකව බල ගැන්වීම ය.
***************
උපග්‍රහණය මගින් ප්‍රාග්ධන සමුච්චනය (දෙවෙනි කොටස)
(capital accumulation by subsumption)
ශ්‍රම උපග්‍රහණය යන යෙදුම මාක්ස් හදුන්වා දෙන්නේ ප්‍රාග්ධනය පළමුවෙනි වෙලුමේ 16 වෙනි පරිච්චේදයෙහි ය (645 පිටුව). ඒ නිරපේක්ෂ සහ සාපේක්ෂ අතිරික්ත-වටිනාකම පිළිබද සාකච්ඡාවේ දී ය. මෙම සංකල්පය හේ විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ ප්‍රාග්ධනය පළමුවෙනි වෙලුමේ හත්වෙනි කොටස ලෙස ලියවුන Results of the Immediate Process of Production හිදී ය. මුල්වරට මේ සංකල්පය හමුවූ අයගේ පහසුව සදහා ඒ ගැන කෙටි හෝ හැදින්වීමක් කිරීම කාලෝචිත ය.
උපග්‍රහණය සමග මාක්ස් සසදන්නේ ධනේශ්වර ක්‍රමය විකාශනයේ දී එංගලන්තයේ පැවති putting-out ක්‍රමය ය. Putting-out ක්‍රමය යටතේ වෙලෙන්දෝ හස්ත කාර්මික නිශ්පාදකයනට නිශ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්හ. තම ආම්පන්න යොදා ගනිමින් නිශ්පාදකයෝ එකී අමුද්‍රව්‍ය නිමි භාංඩ බවට පත් කලහ. නැවත පැමිණෙන වෙලෙන්දෝ ඒ භාංඩ එකතුකර ගත්හ. මේ ක්‍රමය යටතේ නිශ්පාදනයේ වේගය හා රිද්මය පාලනය කිරීමට වෙළද ප්‍රාග්ධනයට හැකිකමක් නොලැබුනේ නිශ්පාදනය ඔවුන්ගේ සුපරීක්ෂණය යටතේ සිදු නොවුන නිසා ය. මෙතනදී වෙළද ප්‍රාග්ධනය කළේ මෙකී නිශ්පාදකයන් නිවසින් මුදවා ෆැක්ටරිගත නිශ්පාදනයට යටත් කිරීම ය. වැඩ ඔරලෝසුව, සීනුව, සුපරීක්ෂණය යටතට නිශ්පාදකයා යටත් කෙරින. වැඩ දිනය පාලනය කෙරින. කාල සටහනකට නිශ්පාදකයා යටපත් කෙරින. මෙම වෙනස මාක්ස් ආකාරීය ශ්‍රම උපග්‍රහණය (formal subsumption of labor) ලෙස හැදින්විය.
මෙය තවදුරටත් පැහැදිලි කිරීමට නිරපේක්ෂ අතිරික්ත වටිනාකම (absolute surplus value) සහ සාපේක්ෂ අතිරික්ත වටිනාකම (relative surplus value) යන යුගලය මෙන්ම අත්‍යවශ්‍ය ශ්‍රමය (necessary labor) සහ අතිරික්ත ශ්‍රමය (surplus labor) යන යුගලය ද තේරුම්කර ගැන්ම අවශ්‍ය වේ. සෑම පුද්ගලයෙකුටම තමාගේ හා තම පවුලේ ජීවත්වීම සදහා කිසියම් පැය ගණනක් දිනකට වැඩ කිරීම අවශ්‍ය ය. මෙම කාලය තුල ඇය හෝ ඔහු වැයකරන ශ්‍රම ප්‍රමාණය අත්‍යවශ්‍ය ශ්‍රමය ලෙස හැදින් වේ. මෙම පැය ගණන දිනකට පැය හතරක් යැයි සිතමු. එහෙත් ෆැක්ටරියක වැඩට යන කම්කරුවෙකුට ගිවිසුම් ප්‍රකාරව ඊට වැඩී කාලයක් වැඩ කිරීමට සිදුවේ. ඒ පැය අටකැයි සිතුවොත් අතිරික්ත ශ්‍රමය පැය හතරක් වේ. පැය හතරේ නිමවුමේ වටිනාකම අතිරික්ත වටිනාකම වන්නේ ය. ධනේශ්වර සමාජයක ධනපතියා උනන්දුවන්නේ මෙම අතිරික්තය ගැන ය.
වැඩදිනය දීර්ඝ කිරීමෙන් එකී අතිරික්ත වටිනාකම වැඩිවේ. මෙසේ වැඩි කරගන්නා අතිරික්ත වටිනාකම මාක්ස් නිරපේක්ෂ අතිරික්ත වටිනාකම ලෙස හදුන්වයි. එසෙ වුවද, වැඩ දිනය කිසියම් දුරකින් එහාට දිග්කළ නොහේ. දිනකට ඇත්තේ පැය 24 කි. අනෙක් අතට, වැඩදිනය දිග් කිරීමට කම්කරුවෝ ප්‍රතිරෝධය දක්වති.
මාක්ස් දක්වන පරිදි, ආකාරීය ශ්‍රම උපග්‍රහණය ලෙස නම්කළේ අතිරික්ත වටිනාකම් ජනනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒ හරහා ප්‍රාග්ධන අධිශක්තිකරණ ක්‍රියාවලිය (valorization process) ධනපතියා විසින් තම යටතට ගැන්ම ය. එය සිදුවිය හැක්කේ ධනේශ්වර නිශ්පාදන මාදිලිය යටතේ පමණි. (1019 පිට) මේ හරහා ප්‍රාග්ධන සම්බන්ධතාවය ගූඪ ස්වරූපයක් ගන්නේ ය. එනම් අතිරික්තය හා වටිනාකම් ජනනය ප්‍රාග්ධනයේ කාර්‍ය්යක් ලෙස පෙනීමට පටන් ගැන්ම ය (1020). එසේ වුවද මේ මගින් වැඩිකළ හැක්කේ නිරපේක්ෂ අතිරික්ත වටිනාකම පමණ ය.
ආකරීය ශ්‍රම උපග්‍රහණය මගින් ධනපතියාගේ සුපරීක්ෂණයට හා පාලනයට ශ්‍රමිකයන් යටත් කෙරුනද, නිශ්පාදනයේ ශ්‍රම ක්‍රියාවලියෙහි කැපීපෙනෙන වෙනසක් සිදු නොවේ. ශ්‍රම ක්‍රියාවලිය සත්‍ය වශයෙන් ප්‍රාග්ධනය යටතට ගැනීමටනම් නිශ්පාදන ක්‍රියාවලිය එනම් ශ්‍රම ක්‍රියාවලිය ගුණාත්මකව වෙනස්කළ යුතු ය. මේ සදහා නිශ්පාදන ක්‍රියාත්මක යාන්ත්‍රිකකරණයට හසුකිරීම ඇවසී වේ. එවිට ශ්‍රමිකයන්ට ක්‍රියාකිරීමට සිදුවන්නේ යන්ත්‍ර විසින් නියම කරන රිද්මයට අනුව ය. මාක්ස් මෙම ක්‍රියාවලිය සත්‍ය ශ්‍රම උපග්‍රහණය (real subsumption of labor) ලෙස හදුන්වයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ වර්තමාන ප්‍රවණතා
මේ ලිපියේ යොමුව ශ්‍රීලංකාවේ සමස්ත කෘෂිකාර්මික අංශය නෙවේ. වී වගාව ය. අම්පාර, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්වල වී වගාව ය.
පසුගිය දශක හතරක කාලය තුළ ශ්‍රීලංකාවේ වී වගාවෙහි නිශ්පාදන හා ශ්‍රම ක්‍රියාවලිය කැපී පෙනෙන වෙනසකට භාජනය විය. තේ වගාවෙහි පහුගිය වසර 200 කට ආසන්න කාලයක් තුළ ඇතිවූ වෙනස්කම් වලට වඩා මේ වෙනස්කම් කැපී පෙනෙන සුලු ය. මෙයට ප්‍රධාන හේතුන් දෙකක් බල පෑ බව පෙනේ. 1) 1960 ගණන්වල ඇරඹුන ඊනියා හරිත විප්ලවය; සහ 2) මහවැලි ව්‍යාපාරය සමග ජල කළමනාකරණය හා බැදුන නිලධර ආධිපත්‍යය ඒ හේතු දෙක ය. තිස් වසරක කාලය තුළ දිග ඇරුන යුද්ධය හේතුකොට ගෙන ග්‍රාමීය ශ්‍රම හිගයක් ඇතිවීමද මෙයට ආධාරක හේතුවක් විය. ගොවි කාල සටහන නිලධර ප්‍රාග්ධන මෙහෙයවීම අනුව සාපේක්ෂ ශ්‍රම හිග තත්ත්වයක් තුළ සකස්වීමේ ප්‍රතිඵලය වූයේ ශ්‍රම ක්‍රියාවලිය යාන්ත්‍රීයකරණය වීම ය. අද වගාව සදහා බිම සැකසීම සහ වගාව නෙලීම සහ සැකසීම සහමුලින්ම වාගේ යාන්ත්‍රීයකරණයට හසුව ඇත්තේ ය.
මේ අනුව වී වගාව පැහැදිලි ලෙසම කාර්මික කෘෂිකාර්මයක් (industrial agriculture) බවට හසුව ඇත්තේ ය යන්න මගේ නිරීක්ෂණය ය. අධික ලෙස රසායන පොහොර, රසායනික කෘමි සහ වල් නාෂක මත රදාපැවැත්ම සහ බීජ භාංඩකරනය මේ ක්‍රියාවලිය ශක්තිමත් කළේ ය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස වී වගාවේ නිශ්පාදන පිරිවැය පොදුවේ වර්ධනය වීමක් සිදුවිය. යන්ත්‍රසූත්‍ර සදහා ගෙවීම්, පොහොර හා වල් හා කෘමිනාශක සදහා පිරිවැය දිගින් දිගටම ඉහළ ගියේ ය. පොහොර සහනාධාරය පිහිටක් වුවද ඒ පොහොර ප්‍රමාණය එන්න එන්නම ප්‍රමාණවත් නොවන්නේ යැයි ගොවින් පවසන්නේ පස වසර ගණනාවක් පුරා මියගොස් ඇති හෙයිනි. වී ම්ල ස්ථාවර හෝ පහළ මට්ටමක පවත්වා ගැන්ම මෝල් හිමියන්ගේ සහ ආංඩුවේ සැගවුණු ගිවිසුමක ප්‍රතිඵලයක්.
මෙයට ගොවීන් මුහුණ දුන්නේ වැඩි වශයෙන් ණය ගැනීමෙනි. එය දෙආකාරයකින් සිදුවිය. ගොවින් සතුව ප්‍රාග්ධනයක් නොතිබුන වාතාවරණයක වගාව කෙරුනේත්, අස්වැන්න නෙලුවේත් ණයට ය. එය සැගවුණු උගසක් විය. පරිභෝජනය ඇතුලු සියලු ආකාර පුනර්-නිශ්පාදන පැහැදම් ලබා ගත්තේ ණයට ය. මෙවන් තත්ත්වයකදී ණය ගොවියාට ගෙවන වැටුපකට සමාන විය. පොලිය ණය හිමියාගේ අතිරික්තය විය.
මෙම තත්ත්වය තවත් නරක අතට හැරීමත් සමග ගැමි කාන්තාවනට පෙනීගියේ නිවෙස් කටයුතු හා ගොවිතැන් කටයුතු මගින් තමන්ගෙත් සිදුවන ශ්‍රම දායකත්වය කුටුම්බ පැවැත්මට ප්‍රමාණවත් නොවන බව ය. ඒ නිසා සමාන්තර නිශ්පාදන ක්‍රියාවන් ඇරඹීම මගින් ස්ත්‍රීන් කල්පනා කළේ කුටුම්බ ආදායමට දායක වන්නට ය. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ගමට පැමිණියේ මේ නව තත්ත්වයෙන් ප්‍රයෝජන ගැම්නට ය. නවලිබරල්වාදීනට මෙය පෙනෙනු ඇත්තේ ගැමි ස්ත්‍රිය නිදහස්වීමක් ලෙස ය. එහෙත් එමගින් කෙරුනේ ඇය මේ වහල් ක්‍රමයට හිර කිරීම ය.
එහෙත් බොහෝ විචාරකයන් කල්පනාකරන පරිදි මේ ක්‍රියාවලිය ගොවියාගේ වගාබිමෙන් ඔහු ඉවත් කිරීමකට ගමන් ගත්තේ නැත. මා එයින් අදහස් කරන්නේ එය එනම් අස්වාමිකරණය හරහා ප්‍රාග්ධන සමුච්චනය ප්‍රවණතාවයක් ලෙස ශ්‍රීලංකාවේ ගැමි සමාජය තුළ ක්‍රියාත්මක නොවන බව නොවේ. විවිධ හේතු නිසා ඒ ප්‍රවණතාවය හා සමාන්තරව හෝ ඊටත් වඩා වැඩි ශක්තියකින් උපග්‍රහණය හරහා ප්‍රාග්ධන සමුච්චනය ගැමි සමාජය තුළ ක්‍රියාත්මක වන බවය.
ඉඩම් සංවර්ධන නීතිය, කෘෂිකර්මයට සෘජු නිශ්පාදකයෙකු ලෙස පිවිසුමට ප්‍රාග්ධනයේ මැලිකම සහ කුඩා ගොවින්ගේ ෂයනොවියානු ඔරොත්තුදීමේ ශක්තිය මේ අතරින් සමහරකි.
Comments
Post a Comment